මාකොළ පුද්ගලික රෝහලක කළමනාකාරවරියක සහ මුදල් අයකැමිවරියක් ලෙස සේවය කරමින් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වේදනා නාශක ඖෂධය විකිණූ කාන්තාවන් දෙදෙනකුට මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ ලක්ෂ හයක දඩ නියම කෙරුණි.
අදාළ වේදනා නාශකයේ කරල් 50ක් විකිණීම, විකුණන ලද ඖෂධ සඳහා බිල්පතක් නිකුත් නොකිරීම සහ කරල් 50ක් විකිණීමට හැකි උපරිම මිල වන රුපියල් දෙදහස් දෙසිය හැත්තෑව ඉක්මවා යමින් එම ඖෂධය රුපියල් පන්දහස් පන්සියයකට විකිණීම සම්බන්ධව කාන්තාවන් දෙදෙනා වරද පිළිගත් අතර එක් කාන්තාවකට රුපියල් ලක්ෂ තුන බැගින් මෙසේ රුපියල් ලක්ෂ හයක දඩ මහර අතිරේක මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියම කළාය.
මීට අමතරව සැකකාර කාන්තාවන් දෙදෙනා නැවත මෙම වරද සිදු නොකරන බවට සඳහන් කරමින් මහජනතාවගෙන් සමාව අයදින හරවත් දැන්වීමක් ශ්‍රී ලංකාවේ සංසරණය වන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිටුවේ දිග අඟල් 10 සහ පළල අඟල් 10 ප්‍රමාණයට ප්‍රකාශයට පත් කිරීමට නියම කළාය. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් එම්. ශිරානි මල්කාන්ති පෙරේරා, අනුෂිනී ශ්‍යාමා දෙනගම යන කාන්තාවන්ට එසේ දඬුවම් නියම කෙරුණි.
සැකකාරියන් දෙදෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වෙන වෙනම ශරීර ඇප මත මුදා හැරීමට නියම කෙරුණි. එක් එක් සැකකාරියකට දඩ මුදලින් රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් රුපියල් ලක්ෂ තුනක දඩ මුදල් ඊයේම ගෙවීමට නියම කළාය. ඉතිරි හිඟ දඩ මුදල ලෙස එක් එක් සැකකාරියට රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් සැප්තැම්බර් මස 24 වැනි දින ගෙවීමට නියම කළාය.
එදිනට මෙම සිද්ධියට අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට නියම කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් මත පාණදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරින් ඇතුළු ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් සමඟ එක්ව මෙම වැටලීම සිදු කර මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා සහ අදාළ ඖෂධ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය ඉන්දා මල්වැන්න මහත්මියගේ උපදෙස් මත එහි ආහාර හා ඖෂධ පරීක්ෂක ඩී.ආර්. වික්‍රමසේකර බණ්ඩාර මහතා පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළේය.