හැත්තෑ දෙකේ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කරන විට පැවතියේ රැජනට ප්‍රධාන වූ ආණ්ඩු ක්රමයකි. රාජ්‍ය ලාංඡනයේ මුදුනේ වූයේ බ්‍රිතාන්‍යයේ ඔටුන්නය. හැත්තෑ දෙකේ ජනරජ ව්‍යවස්ථාවෙන් ඔටුන්න, රාජ්‍ය ලාංඡනයේ මුදුනෙන් ගලවා දැමුවේය. ධර්මචක්‍රය ඔටුනු පැලැන්දුවේය. රැජනගේ ප්‍රධානත්වය, ආණ්ඩුවෙන් ගලවා ඒ සඳහා ජනාධිපති තනතුර ඇති කළේය. එතැන් සිට රාජ්‍යයේ ප්‍රධානියා වූයේ ජනාධිපතිය. හැත්තෑ අටේදී ඒ ජනාධිපතිට විධායක බලය ලැබුණි. මේ සිටින්නේ රටේ අටවැනි විධායක ජනාධිපතිය.
ජනාධිපතිවරණයක් කැඳවා ඇති මේ අවස්ථාවේ රටේ ජනතාව දැනගත යුත්තේ, තමන් කතිරය ගසනුයේ පළාතේ හෝ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයාට නොවන බවය. මේ රටේ භාරකාර තනතුර වසර පහකට අප විසින් නියෝජිත ප්රජාතන්ත්රවාදය යටතේ භාර දෙන්නේ හෙයින් එම තීරණය මත්තේ මේ ජාතියේ ඉරණම රඳා පවතින්නේය. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වියදම් වන මුදල රුපියල් බිලියන දහයකි. මේ රටේ ජනතාව මේ ආකාරයේ වියදමක් දරාගෙන රටේ සියලු සැලසුම් සහ අපේක්ෂාවන් පමණක් නොව, ජාතියේ තීරණ ගැනීමේ බලය ද ජනාධිපතිවරයා වෙත පවරා දෙන්නේය. එහෙව් ජනාධිපතිවරණයක් සෙල්ලමට නොගත යුතුය. ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව නිවේදනය කරන තුරු බලා සිටින පිරිසක් වෙති. සමහරු ඒ සඳහා නාමයෝජනා ලබා දෙන්නේ පුරුද්දටය.
කොතරම් වැඩේ පුරුද්දට ගොස් ඇත්තේ ද කිවහොත් ට්‍රැක්ටරේ ලකුණ දරන බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ඊයේ රාජගිරියේ මැතිවරණ කොමිසම පිහිටි කාර්යාලයට වැඩම කළහ. මේ වනාහි උන්වහන්සේට මහණකමට වඩා වටිනා අවස්ථාවකි. පුරුදු වීම සඳහා ජනාධිපතිවරණයට තරග කරන්නේ නැති උන්වහන්සේ, වැඩේ ප්‍රකාශයට පත් කළ වනම, වස් කාලය ද කියා අමතක කර, ඇප මුදල් තැන්පත් කිරීම සඳහා පැමිණියහ. ඇප සඳහා අවශ්‍ය මුදල් පසුම්බිය ගෙන ආවේ නැති හෙයින් වැඩේ කර ගත නොහැකි විය. මේ ආකාරයට අවුරුදු සමයට කොහා එන්නා සේ ජනාධිපතිවරණය කියූ සැණින් අපේක්ෂකත්වය ඉල්ලුම් කරන බර ගාණක් සිටින්නාහ. ඒ සියල්ලෝ තමන් පරදින බව දැන දැන සටන සඳහා පිවිසෙන්නෝය.
පැරදීම ආභරණයක් බවට පත් කරගත් පිරිසක්, මෙසේ ඡන්ද සටනට පිවිසෙන්නේ වල් වාසි බලාගෙනය. අපේක්ෂක කාලය බලා ඔහොම නාමයෝජනා දුන් කල, ගරානා පාරක් දමාගත හැක්කේය. අනික් අතට ලැබෙන පබ්ලිසිටියය. එයින් ගත හැකි වාසි ද ඇත්තේය. මේ ආකාරයට පරදින ගහේ නැඟ නැඟ ඔවුහු පල නෙළන්නෝය; වන්දි ගෙවන්නේ අපය.
ජනාධිපතිවරණයක් වැනි රටක තීරණාත්මක අවස්ථාවක් සමඟ එකිනෙකා සෙල්ලම් දැමීම වළක්වාලීම සඳහා ප්රජාතන්ත්රවාදය යටතේ නීති දැමිය නොහැකිය. එහෙයින් මේ වල් වාසි ගැන්සියට සමාජ අප්‍රසාදයක් ජනිත කරවා වැඩේ නවත්වා ගැනීම අපේ යුතුකමය. ඡන්ද පත්‍රිකාව අඟල් විසි හතර පන්නන්නේ නම් ඒ සඳහා අමතර වියදමක් යන බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය ප්‍රකාශ කළාය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඊයේ පෙරේදා ප්‍රකාශ කර තිබුණේ, අපේක්ෂකයෝ සංඛ්‍යාව වැඩි වුණොත් පේළි දෙකේ ඡන්ද පත්‍රිකාවක් සෑදීමට සිදු වෙන බවය. පසුගිය වාරයේ අඟල් 26න් අපේ බැලට් පේපර් එක බේරුණේය. මේ පාර සී.ආර්. පොතක් වැඩේට ඒ යැයි සිතිය හැක්කේය. දැනටම, නම් ගණනාවක් අපේක්ෂක ලෙස එළියට බැස ඇත්තේය. සමහරු ඩමි අපේක්ෂකයෝය. ඒ අය ප්‍රධාන අපේක්ෂකයෙක්ගේ කොන්ත්‍රාත් සඳහා නාම යෝජනා ලබාදී ගාණක් කඩාගන්නේය. මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ඒ ජාතියේ බඩුවක් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. හෙතෙම නමින් ද සිරිසේන සහ පෙනුමෙන් ද ඒ හා සමාන වූ අයෙකි. හැඳ පැලඳ සිටියේ ද මෛත්‍රීපාල පරිදිය. ඡන්දය ඉල්ලූ වෙද මහතාගේ කතාව ද මේ මොහොතේ සිහිපත් වන්නේය. හැම ගෙදරකටම කිරි හරකෙක් දෙනවා යැයි, ගොන් කතා කියමින්, හෙතෙම අපේ ධනය විනාශ කළේය. මේ පිරිස්, සුපිරි රියැලිටි තරගහි, මුල් වටයට එන අප්සෙට් තරගකරුවෝ සේය. ඔවුන්ගේ නාඩගම් අපට පෙන්වා දෙන්නේ, සිනහසීම උදෙසාය.
මේ ජාතියේ සෙට් එකක් රටේ ප්‍රධාන පුරවැසියා තෝරන අවස්ථාවේ නාඩගම් පෙන්වීම රටේ ජනතා පරමාධිපත්‍යයට සිදු කරන නිගාවකි. ඒ මතු නොව ජනතා මුදල් නාස්තියකි. ප්‍රධාන අපේක්ෂකයෝ දෙතුන් දෙනා හෝ ඒ ලැයිස්තුව දහය දක්වා දික් වුවද අවුලක් නැත්තේය. පක්ෂයක් හෝ මතයක් වෙනුවෙන් පෙනී සිටින ගායට වඩා, තමන්ගේ පටු අරමුණක් වෙනුවෙන් ඡන්දයකට ඉදිරිපත් වී රටේ මුදල් නැති නාස්ති කර ප්රජාතන්ත්රවාදය ද බාල්දු කිරීම වනාහි දඬුවම් දිය යුතු අපරාධයකි.
ඡන්ද කොළයේ සිටින අයගෙන් සාතිශය බහුතරයකගේ නම, බහුතර ජනතාව අසනුයේ කලාතුරකිනි. මේ සඳහා එක් විසඳුමක් ලෙස ඇප මුදල දැනෙන ගණනකින් වැඩි කරන යෝජනාවක් පැමිණියේය. එය ද මෙවර ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි විය. ඡන්දය කලට වේලාවට පැවැත්වීම වැදගත්ය. ඒ ජනතා පරමාධිපත්‍යය නිවැරදිව ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය වෙනුවෙනි. මෙහෙව් විකාර බඩු මුට්ටු ටික, ඡන්දයට ඒම නැවැත්විය නොහැකි නම් කලට වේලාවට ඡන්දය තබා රැක ගන්නා ජනතා පරමාධිපත්‍යය යළිත් වටයකින් බාල්දු වෙන්නේය.