Wednesday, April 23, 2025
Home » ලක්ෂ 72ක රන් ආභරණ කොල්ලකෑ වැඩ පරීක්ෂකවරයා සිව් මසකට පසු අත්අඩංගුවට
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදානගේ නැන්දණියගේ නි‍ෙවසින්

ලක්ෂ 72ක රන් ආභරණ කොල්ලකෑ වැඩ පරීක්ෂකවරයා සිව් මසකට පසු අත්අඩංගුවට

by mahesh
July 26, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදානගේ නැන්දණිය (බිරියගේ මව) පදිංචි හෝමාගම, දුම්රියපොළ පාරේ තෙමහල් නි‍ෙවසට ඇතුළු වී ඇයට පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකර ගෘහ සේවිකාව නාන කාමරයේ සිරකර රුපියල් ලක්ෂ 72ක රන් ආභරණ තොගයක් කොල්ලකෑ හිටපු වැඩ පරීක්ෂකවරයා සිව් මසකට පසු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් එම සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බව පොලිසිය පවසයි.

ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදානගේ නැන්දණිය මෙම තෙමහල් නි‍ෙවසේ තනිව පදිංචිව සිටින අතර පහත මහලයේ ව්‍යාපාරික ස්ථානයක් ඇය විසින් පවත්වාගෙන යන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉකුත් මාර්තු මස 28 වැනිදා රාත්‍රී 11.00 ට පමණ සැකකරු නි‍ෙවසේ පිටුපස තාප්පයෙන් පැන නි‍ෙවසේ ජනේලයක් නියනකින් විවෘත කර නි‍ෙවසට ඇතුළු වී ඇතැයි පොලිසිය පවසයි.

නිවෙස් හිමිකාර ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදානගේ නැන්දණිය එම අවස්ථාවේ නි‍ෙවසේ සිට නැති අතර සැකකරු පැය හයකට අධික කාලයක් නි‍ෙවසේ රැඳී සිට ඇති අතර එකී කාලය තුළ සැකකරුට නි‍ෙවස තුළ නින්ද ගොස් ඇතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. නිවෙස් හිමිකාර ව්‍යාපාරික කාන්තාව දියණියගේ නි‍ෙවසට ගොස් පසු දින (29) මෙහෙකාර සේවිකාව සමඟ නි‍ෙවසට පැමිණ ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු එකවරම ඔවුන් දෙදෙනා වෙත උල් පිහියක් රැගෙන කඩා වැදී මෙහෙකාර සේවිකාව නාන කාමරයට දමා දොර වසා නිවෙස් හිමි ව්‍යාපාරික කාන්තාවට පිහියෙන් අතකට පහරදී තුවාල සිදුකර ඇය පැලඳ සිටි රන් ආභරණ සියල්ලම කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී නිවෙස් හිමිකාර කාන්තාව ඇයගේ අනෙක් රන් ආභරණ තොගය බහා තිබූ ඇය අත සඟවා සිටි බෑගය සැඟවීමට උත්සාහ දැරීමේදී එය දුටු සැකකරු ඇයගේ පිටට සහ ගෙලට පිහියෙන් පහර දී තිබූ බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී නිවෙස් හිමිකාරිය සිහි විසඥ වී ඇති අතර සැකකරු බෑගයත් රැගෙන පලා ගොස් ඇති අතර මෙහෙකාරියගේ කෑ ගැසීමත් සමඟම අසල්වාසීන් එම ස්ථානයට පැමිණ බරපතළ තුවාල ලබා වැටී සිටි නිවෙස් හිමිකාරිය රෝහල්ගත කර ඇත.

එලෙස බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරික කාන්තාව දින 21ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද අවස්ථා දෙකකදී එම නි‍ෙවසින් රන් ආභරණ සහ ලක්ෂ 6 කට අධික මුදල් සොරාගත් පුද්ගලයකු බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් නිවෙස් හිමි ව්‍යාපාරික කාන්තාව විසින් හෝමාගම පොලිසිය වෙත පළමු අවස්ථාවේ පැමිණිලි කළ ද කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසිය අසමත් වීම හේතුවෙන් රුපියල් ලක්ෂ 6 නැතිවීම සම්බන්ධයෙන් පැමිණිලි නොකළ බවට ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මීට වසර කිහිපයකට ඉහතදී මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක වැඩ පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරන අවධියේදී සැකකරු නිවෙස් හිමි කාන්තාවගේ ව්‍යාපාරික ස්ථානයට අවස්ථා කිහිපයකදී පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ව්‍යාපාරික කාන්තාව රන් භාණ්ඩ රැසක් පැලඳ සිටින අයුරු දැකීමෙන් අනතුරුව මෙලෙස අවස්ථා කිහිපයකදී දේපළ සොරාගෙන තිබූ බව ද පොලිසිය පවසයි.

අදාළ කොල්ලකෑම සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජනක කුමාර මහතාගේ උපදෙස් මත ඒකක හතර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඊ.ජී. අනුර මහතා විසින් සිදුකළ විමර්ශනවලදී ලද තොරතුරක් අනුව සැකකරු හෝමාගම, උඩුවන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී සිව් මසකට ඉහතදී සිදු කළ කොල්ලකෑම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය පවසයි.

සැකකරු එම ව්‍යාපාරික නි‍ෙවසින් කොල්ලකන ලද පවුම් 47ක් බර රන් ආභරණ මහරගම හා තලවතුගොඩ ආදී ප්‍රදේශවලට උගස් කර සහ විකුණා තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT