ලෝක ශූර ඉන්දීය පිලට එරෙහි තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියට මුහුණදීමට නියමිත 16 ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට 34 හැවිරිදි දිනේෂ් චන්දිමාල් කැඳවයි. වසර 2කට පසු විස්සයි20 ජාත්‍යන්තර පිටියට පිවිසි චන්දිමාල් නිමාව දුටු එල්පීඑල් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුකොට යළි ශ්‍රී ලංකා පිලට එක්ව තිබේ.
ඔහු අවසන් වරට විස්සයි20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළේ 2022 වසරේ මුල් භාගයේදීය. චන්දිමාල් මේ වසරේ පැවති එල්පීඑල් තරගාවලියේදී තරග 8කදී අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 287ක් ලබාගත් අතර, ප්‍රහාරක වේගය 168.82ක් විය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ දොරටු චන්දිමාල් වෙත විවර වූවේය.
එමෙන්ම එල්පීඑල් තරගාවලියේ නැඟී එන ක්‍රීඩකයා සම්මානය දිනාගත් දඹුල්ල සික්සර්ස් පිලේ චමිඳු වික්‍රමසිංහ විස්සයි20 කණ්ඩායමට එක්කොට තිබීම කැපී පෙනේ. මහනුවර සාන්ත අන්තෝනි විදුහලෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ 21 හැවිරිදි චමිඳු පැහැදිලි අනාගතයකට හිමිකම් කියන ක්‍රීඩකයෙකු බව එල්පීඑල් තරගාවලියේදී සනාථ කළේය. ඔහු එල්පීඑල් තරගාවලියේ අර්ධ ශතක දෙකක් සමඟ පන්දු 141කදී ලකුණු 186ක් රැස්කළ අතර, එයට හතරේ පහර 14ක් හා හයේ පහර 8ක් ඇතුළත් විය. දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු ලෙස හෙතෙම කඩුලු 7ක් බිඳ හෙළීමද කැපී පෙනිණි.
මෙතෙක් විස්සයි20 කණ්ඩායමේ සිටි 37 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් සමඟ මැද පෙළ පිතිකරු සධීර සමරවික්‍රම හා ධනංජය ද සිල්වා කණ්ඩායමෙන් ඉවත්කොට ඇත. ශ්‍රී ලංකා – ඉන්දියා විස්සයි20 තරගාවලිය මේ මස 27, 28 සහ 30 යන දිනවලදී මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, අනතුරුව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 2, 4 සහ 7 දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඉන්දියාවට එරෙහි විස්සයි20 ශ්‍රී ලංකා සංචිතය මෙසේය: චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, චමිඳු වික්‍රමසිංහ, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු.
ප්‍රින්ස් ගුණසේකර