මහනුවර යාපනය A-9 මාර්ගයේ, තිරප්පනය පොලිස් වසමේ ගල්කුලම ප්‍රදේශයේ කි.මී. 122 සහ 123ත් අතර ප්‍රදේශයේ මාර්ගයේ වැටී තිබී බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (23) අලුයම සොයා ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, මිහින්තලේ, කෑදෑව ප්‍රදේශයේ පදිංචි බමුණුරත්න මුදියන්සේලාගේ සුරවීර නමැති 38 හැවිරිදි දෙදරු පියෙකු බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි. මරණකරු මැල්සිරිපුර ප්‍රදේශයේ හෝටලයක සේවය කරන පුද්ගලයෙකු බවත්, ඔහු රාත්‍රියේ තම රැකියාව නිමවී නිෙවස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරන බව පොලිසිය පවසයි. මරණකරු, මාර්ගයේ ගමන් ගත් වාහනයක නැඟ ගමන් කිරීමේදී ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වූයේද, නැත්නම් පාරේ ගමන්ගත් වාහනයක ගැටී ජීවිතක්ෂයට පත් වූයේද යන්න දැන ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
අනතුරට පත්කර පලා යන්නට ඇති බවට පොලිසිය සැක කරන රථය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලිසිය පවසයි.
සිරුර පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා එම දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බව පොලිසිය පවසයි.
අනුරාධපුර සංචාරක – සශිනි මධුෂානි