Monday, April 21, 2025
Home » රනිල් එදා ජනපති ධුරය නොගත්තා නම් අපට යන්න වෙන්නේ අමරකීර්ති ගිය තැනට

රනිල් එදා ජනපති ධුරය නොගත්තා නම් අපට යන්න වෙන්නේ අමරකීර්ති ගිය තැනට

-පොහොට්ටුව නිවැරදි මොහොතේ හරි තීන්දුව ගන්නා බව විශ්වාසයි

by sachintha
July 24, 2024 3:51 am 0 comment

Minister prasanna

පොහොට්ටුව නිවැරැදි මොහොතේදී හරි තීන්දුව ගනු ඇතැයි තමන්ට තවමත් විශ්වාස බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට වසර දෙකකට පෙර ජනාධිපති ධුරය භාර නොගත්තේ නම් අපට සිදු වන්නේත් අමරකීර්ති මන්ත්‍රීතුමාට සිදු වූ දේ බව ද ඇමැතිවරයා පැවසීය.

නෙළුම් මාවත කාර්යාලයේදී ඊයේ (23) පැවැති සාකච්ඡාවට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය – ඔබ ඇතුළු කණ්ඩායමක් ඉන්නේ මත දෙකක. අපට හරි මතය කියන්න?

පිළිතුර – තව සතියක් ඇතුළත කියනවා.

ප්‍රශ්නය – ඇයි ඒ?

පිළිතුර – මගේ මතය කියලා ඉවරයිනෙ. මට අලුතින් කියන්න දෙයක් නැහැ. මගේ මතය මම වෙනස් කරලා නෑ.

ප්‍රශ්නය – ඒ කියන්නේ රනිල් මහත්තයා අවශ්‍යයි?

පිළිතුර – ඔව්

ප්‍රශ්නය – තිස්සකුට්ටිආරච්චි මහත්තයා කියන්නේ පොහොට්ටුවෙන් කවුරු හරි ඕනෙ කියලා?

පිළිතුර – ඒක හරි. අප දෙගොල්ලොම කියන්නේ හොඳ අපේක්ෂකයෙක් දෙන්න කියලා.

ප්‍රශ්නය – හොඳ කෙනා කවුද?

පිළිතුර – පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා තිස්සකුට්ටිආරච්චි මහතා – ඇයි එච්චර කලබල.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා – මේ භූමියේ ඒක අහන්න එපා. එළියෙදී ඇහුවොත් මම ඒකට උත්තරය දෙන්නම්. මේ මහත්තයාගෙන් අහන්න මෙයා තමයි දවසේ නායකයා.

ප්‍රශ්නය – පොහොට්ටුවේ කවුද දිනන්න පුළුවන් අපේක්ෂකයා ලෙස දාන්න ඕනෑ? ඔබ පක්ෂ කාර්යාලයේ ඉඳන්නේ කිව්වේ නැත්තේ දැන් ඉන්නේ පාරේ.

පිළිතුර – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා – මේ පක්ෂය හදපු කෙනෙක් මම. මම මේ පක්ෂයට හානි වෙනවා දකින්න කැමැති කෙනෙක් නෙමෙයි. ඒක නිසා මම ඒක කතා කරන්න සූදානමක් නෑ. හැබැයි මගේ මතය ඉන්න වේදිකාවේදී පැහැදිලිවම කියලා තියෙනවා. ඒ මතයේ අදත් ඉන්නවා මම.

ප්‍රශ්නය – මොකක්ද ඒ මතය

පිළිතුර – රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපති වෙන්න ඕනෑ. කළගුණ දන්න මිනිස්සු නම් අද මතක තියා ගන්න ඒ අරගලය වෙන කෙනෙක්ගේ අතට ගියා නම් මහින්ද මහත්තයටත් ගෝඨාභය මහත්තයාට වෙන්නෙත් අපට වෙන්නෙත් අමරකීර්තිට වෙච්ච දේමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා නීතිය හා සාමය ස්ථාපිත කරා විතරක් නෙමෙයි ආර්ථිකය ගොඩනඟන්න පියවර ගත්තා. අප ඒකට ගරු කරන්න ඕනෑ. මහින්ද මහත්තයා වෙනුවෙන් අප එළියට බැස්සේ මහින්ද මහත්තයා යුද්ධය ජයග්‍රහණය කළ නිසා. ඔහු රටට වැඩක් කළ නායකයෙක් හින්දා. අදටත් අප මහින්ද මහත්තයත් එක්ක ඉන්නවා. ඒකනේ අප මෙතැනට එන්නේ. මම විශ්වාස කරනවා පක්ෂය හරි වෙලාවට හරි තීන්දුවක් ගනියි කියලා.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT