බංග්ලාදේශය තුළ මේ වන විට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු බලපෑමක් සිදුවී නැතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. මේ වන විට බංග්ලාදේශය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2835ක පිරිසක් සිටින බවත් එම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මැදිහත් වන බවත් ඇමැතිවරයා පැවසීය.
කෙසේ වුවද බංග්ලාදේශයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා සෑම මොහොතකම එරට වෙසෙන ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ සමීපව කටයුතු සිදු කරන බවත් ඇමැතිවරයා පැවසීය. අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ වර්තමානයේ බංග්ලාදේශයේ ඇති වී තිබෙන තත්ත්වය මෙරට ඇති නොවීමට කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රණාමය පුද කරන බවයි. එමෙන්ම පසුගිය 2019 වසරේ සිට මේ දක්වා කාන්තා ශ්‍රමිකයන් හාරලක්ෂ හැට හතර දහස් එකසිය තිස් දෙදෙනකු විදෙස්ගත වී සිටින බව ද මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ඒ අතුරින් තුන්ලක්ෂ එක්දහස් එකසිය අසූ අට දෙනෙක් ගෘහ සේවය සඳහාත් වෙනත් රැකියා සඳහා සෙසු එක් ලක්ෂ හැට දෙදහස් නවසිය හතළිස් හතර දෙනා පිටත්ව ගොස් තිබෙන බවත් ඇමැතිවරයා කීවේය. එමෙන්ම මේ අතුරින් තුන්ලක්ෂ හැට දෙදහස් නවසිය හතළිස් තුන්දෙනෙක් පුහුණු ශ්‍රමිකයන් බවත් එක් ලක්ෂ එක් දහස් එකසිය අනූ නව දෙනකු නුපුහුණු ශ්‍රමිකයන් බවත් ඒ මහතා සඳහන් කළේය. විවිධ අක්‍රමිකතා මත විදේශ රැකියා ආයතන දෙසීයක බලපත්‍ර තහනම් කර තිබෙන බව ද තවත් ආයතන හාරසීයක බලපත්‍ර අත්හිටුවා පරීක්ෂණ පැවැත්වෙන බව ද ඇමැතිවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙසේ ද පැවසීය. බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකිකයන් පීඩාවට පත්වුවහොත් ඔවුන් ගෙන්වා ගැනීමට රජය වහා පියවර ගන්නවා. ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක සුදුසු පියවර ගන්නවා. බංග්ලාදේශයේ තත්ත්වය පිළිබඳ අප දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා. ඉතා මෑතකදී බලයට පත් වූ රජයක් තමයි එරට තිබෙන්නේ. රට තුළ අවුල්සහගත තත්ත්වයක් ඇති කර බලහත්කාරයෙන් බලය අල්ලා ගැනීමේ පටු අරමුණ ඇතිව එහි ක්‍රියා කරමින් සිටිනවා. අපේ රටේත් මීට අවුරුදු දෙකකට කලින් මේ වගේ ප්රචණ්ඩත්වය ඇති කරලා පාර්ලිමේන්තුවට ගිනි තියන්න හැදුවා.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න