Wednesday, April 23, 2025
Home » පෞද්ගලික පොහොර සමාගම්වලට ගෙවීමට තිබූ මිලියන 29,000ක හිඟ ණය මුදල් ගෙවා අවසන්

පෞද්ගලික පොහොර සමාගම්වලට ගෙවීමට තිබූ මිලියන 29,000ක හිඟ ණය මුදල් ගෙවා අවසන්

-ඇමැති මහින්ද අමරවීර

by sachintha
July 24, 2024 1:32 am 0 comment

පොහොර මිලදී ගැනීම වෙනුවෙන් පුද්ගලික පොහොර සමාගම්වලට රජය විසින් වසර ගණනාවක් නොගෙවා තිබූ රුපියල් මිලියන 29,000ක හිඟ ණය මුදල් සියල්ල මේ වන විට ගෙවා අවසන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනෙහි ප්‍රගතිය සම්බන්ධව පෙරේදා (22) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“රුපියල් මිලියන 29,000ක් වැනි අති විශාල මුදලක් පොහොර සමාගම්වලට හිඟ මුදල් වශයෙන් ගෙවීමට තිබූ නිසා පොහොර සමාගම් බහුතරයක් මූල්‍යමය වශයෙන් දුර්වල තත්ත්වයකට මුහුණ දෙමින් සිටියා. නමුත් දැවැන්ත ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුවත් මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පොහොර සමාගම්වලට ගෙවීමට එම හිඟ ණය මුදල් දීමට පියවර ගත්තා.

මේ අනුව මින් පෙර පැවැති රජයන් විසින් ද මේ පොහොර සමාගම්වලට ගෙවීමට තිබූ හිඟ ණය මුදල් රජය විසින් ගෙවා අවසන් කර තිබෙනවා. ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවි ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සහ තරුණ ප්‍රජාව කෘෂි කර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කරමින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වශයෙන් ගම්මාන 160ක් සංවර්ධනය කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා. මේ සඳහා රජය විසින් වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 1600ක්. මේ අනුව එක ගම්මානයකට පළමු අදියර යටතේ රුපියල් මිලියන 10ක් බැගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දී තිබෙනවා.”

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT