Wednesday, April 23, 2025
Home » කෝවිලෙන් අතුරුදන් වූ පවුම් 68යි-ලක්ෂ 8යි පූසාරි උස්සලා

කෝවිලෙන් අතුරුදන් වූ පවුම් 68යි-ලක්ෂ 8යි පූසාරි උස්සලා

by sachintha
July 24, 2024 1:31 am 0 comment

අත්අඩංගුවට ගත් පූසාරි ළඟ රන් පවුම් 40ක් හා බැංකු ගිණුමේ ලක්ෂ 8ක්

යාපනයේ, ඌර්කාවතුරේ, පුලියන්කුඩාල් මුත්තුවිනයාගර් කෝවිලෙන් රන් පවුම් 68ක ස්වර්ණාභරණ හා මුදලින් රුපියල් ලක්ෂ අටක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝවිලේ පූසාරිවරයෙකු ඌර්කාවතුරේ පොලිසිය විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කරන ලද ස්වර්ණාභරණවලින් රන් පවුම් 40 ක ස්වර්ණාභරණ පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර අනෙක් ස්වර්ණාභරණ උකස් තබා ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

28 හැවිරිදි මෙම පූසාරිවරයා ගුරුවරයෙකු වශයෙන්ද සේවය කරන අතර කෝවිලෙන් සොරාගත් මුදල් රුපියල් ලක්ෂ 8ක් බැංකුවක තැන්පත් කොට තිබේ.

කෝවිලේ වාර්ෂික මංගල්‍ය‍ෙය්දී එකතු වූ රුපියල් ලක්ෂ 8ක මුදලක් හා පවුම් 68 ක ස්වර්ණාභරණ බැංකුවක තැන්පත් කරනතුරු කෝවිලේ එක් කාමරයක ඉතා සුරක්ෂිත ලෙස ගබඩා කොට තිබිය දී කෝවිලේ ප්‍රධාන පූසාරිවරයා එම මුදල් හා ස්වර්ණභරණ අතුරුදන් වී ඇති බව දායකයින්ට ප්‍රකාශ කොට තිබේ.

පූසාරිවරයා හා දායකයින් මේ පිළිබඳව ඌර්කාවතුරේ පොලිසියට පැමිණිලි කරන ලද නමුත් මුදල් හා රන්භාණ්ඩ සොරා ගත් පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි විය.

මේ අවස්ථාවේදී කෝවිලේ දායකයින්ට ඇති වූ සැකයක් මත දායකයින් කෝවිලේ පූසාරිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බල කරමින් කෝවිලේ විශාල පූජාවක් පවත්වා පොල් ගසා කෝවිල ඉදිරිපිට හා මහා මාර්ගයේ විරෝධතා පෙළපාළි පැවැත්වීමෙන් පසුව පොලිසිය පූසාරිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු හෙළි වී ඇත.

කෝවිලේ සුරක්ෂිත කාමරයේ යතුරු වෙනුවට අලුතින් යතුරු කපා කාමරයේ දොරට තබා තිබූ මුද්‍රා නොකැඩෙන සේ ඒවා සීරුවෙන් ඉවත් කොට පූසාරිවරයා මුදල් හා ස්වර්ණාභරණ සොරකම් කොට ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පොලිසිය විසින් සැකකටයුතු පූසාරිවරයා අත්අඩංගුවට ගෙන ඔහු විසින් සොරාගන්නා ලද මුදල් හා ස්වර්ණාභරණද සොයා ගැනීම නිසා ප්‍රීතියට පත් කෝවිලේ දායකයෝ පොලිසියට ප්‍රශංසා කරමින් කෝවිලේ විශාල පූජාවක් පවත්වා රතිඤ්ඤා දල්වමින් ඔල්වරසන් දෙමින් ප්‍රීතිය සමරනු ලැබූහ.

සැකකාර පූසාරිවරයා ඌර්කාවතුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඌර්කාවතුරේ පොලිසිය පියවර ගෙන ඇත.

 

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT