ශ්‍රී ලංකා – චීන සබඳතාවලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. විශේෂයෙන් මේ සබඳතා ශක්තිමත් වීමට මූලික පදනම සකස් වන්නේ වෙළෙඳාම සහ බුදු දහම නිසා බව විද්වතුන්ගේ මතයයි. විශේෂයෙන් බෞද්ධ දර්ශනය තුළින් ප්‍රකාශිත සංස්කෘතික හර පද්ධතීන් මේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වූ බව චීනයේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්ය (ආචාර්ය) මා චූන් වූ මහතාගේ අදහසයි. රටවල් අතර සහයෝගිතාව පවත්වාගෙන යෑමට සංස්කෘතික බැදීම්වල ඇති වැදගත්කම යනාදී කරුණු කාරණා ගැන මහාචාර්ය මා චූන් වූ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ජාවකි මේ.
ඉංග්‍රීසි ආභරණයක් කර ගත්තොත් දේශීය චින්තනය විනාශ වෙනවා
ශ්‍රී ලංකා – චීන සබඳතාවලට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා
විවිධ විද්වතුන් සංස්කෘතිය ගැන විවිධ අර්ථකථන දක්වනවා. ඔබේ විග්‍රහයට අනුව සංස්කෘතිය යනු කුමක්ද ?
විවිධ විද්වතුන් සංස්කෘතිය පිළිබඳ විවිධ නිර්වචන දී තිබෙනවා. එය සත්‍යයක්. ඔවුන්ගේ ඇතැම් නිර්වචන ගැඹුරුයි. මගේ විග්‍රහයට අනුව යම් සමාජයක් කරන කියන දෑ සහ එම සමාජය තුළ දැකිය හැකි පොදු ලක්ෂණ සංස්කෘතිකාංග ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් විශ්වාස, පුරුදු, කලාවන්, චාරිත්‍ර සහ සම්ප්‍රදායන් සංස්කෘතික ලක්ෂණ ලෙස හඳුන්වන්න පුළුවන්.
සමාජ සංවර්ධනයත් සමඟ සංස්කෘතියත් වෙනස්කම්වලට භාජනය වීම පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?
සංස්කෘතිය වෙනස් වෙනවා. හැබැයි ඉතා සෙමින්. පැය විසි හතරෙන් සංස්කෘතියක් වෙනස් වෙන්නේ නැහැ. මොකද, සංස්කෘතියක් ගොඩනැඟෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සමඟයි. එය වෙනස් වෙන්නෙත් ඒ ක්‍රියාකාරකම් සමඟයි. සමාජය සහ සංස්කෘතිය එකින් එක සම්බන්ධයි.
ගෝලීයකරණයේ සහ නව ලිබරල්වාදයේ බලපෑම සෑම සංස්කෘතියක්ම ගිලගෙන තිබෙනවා. ඔබ එය පිළිගන්නවා ද?
මම නැවතත් කියන්නේ සංස්කෘතීන් වෙනස් වෙනවා. ඒ ඉතා සෙමින් කාලයත් සමඟයි. ගෝලීයකරණය නිසා ඇති වන වෙනස් වීම් අපට පාලනය කරන්න බැහැ. නමුත් සංස්කෘතියේ වෙනස් වීම් අපට පාලනය කරන්න පුළුවන්.
ඒ කොහොමද ?
අන්තර්ජාලය සහ ඒ හා සම්බන්ධ සමාජ මාධ්‍ය නිසා සංස්කෘතියේ බරපතළ වෙනස් වීම් ඇතිව තිබෙනවා. ඒක සත්‍යයක්. විශේෂයෙන් උප සංස්කෘතීන් ද බිහි වී තිබෙනවා. මේ උප සංස්කෘතීන් නිසා ප්‍රධාන සංස්කෘතීන්වලට අභියෝග එල්ල වී තිබෙනවා. මේ තත්ත්වය ගැන අවධානය යොමු කරන්න ඕනෑ. මේ තත්ත්වය ගැන අවධියෙන් සිටින චීනය ඇතැම් සමාජ මාධ්‍යජාලා පාලනයකට ලක් කර තිබෙනවා. එසේ කරන්නේ අපේ සංස්කෘතිය රැක ගන්න. මේ නිසා අපට හැකිව තිබෙනවා ලෝකයේ ජාතීන් සමඟ අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කරගෙන සහජීවනයෙන් ජීවත් වෙන්න. ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් සංස්කෘතික සබැඳියාව වර්ධනය කරන්නත් චීනය පෙරමුණ ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා – චීන සබඳතා ශක්තිමත් වෙන්න බලපෑවේ බෞද්ධ සංස්කෘතිය ද ? නොඑසේනම් වෙළෙඳාමද ?
චීන දේශාටක භික්ෂූන් වහන්සේලා දෙනමක් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ සංස්කෘතික සහ සමාජ සබඳතා ඇති වුණා. පස්වැනි සියවසේ මුල් කාලයේ පාහියන් භික්ෂුන් වහන්සේ ශ්‍රී ලංකාවේ වසර දෙකක් වාසය කළා. ඉන් පසුව හියුංෂියෑං භික්ෂුව ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසේදී ඉන්දියාවට පැමිණියා. උන්වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණියේ නැහැ. ඇතැමුන් කියනවා හියුංෂියෑං නම් ඒ චීන භික්ෂුව ශ්‍රී ලංකාවට වැඩම කළ බව. එය වැරැදිසහගත ප්‍රකාශයක්. හියුංෂියෑං හිමි ශ්‍රී ලංකාවට වැඩම කිරීමේ අපේක්ෂාවෙන් සිටි බව සත්‍යයක්. එම හිමි ශ්‍රී ලංකාවට පැමිණීමේ අභිප්‍රාය ඇතිව දකුණු ඉන්දියාවට වැඩම කළ අතර, එහිදී ශ්‍රී ලංකාවේ සිට පැමිණි භික්ෂූන් වහන්සේලාගෙන් අසා දැන ගත් තොරතුරු වාර්තා කර ගත්තා. ශ්‍රී ලංකාවේ ඒ වන විට සාගතයක් පැවති බවත්, දේශපාලන වශයෙන් තරමක් කැලඹිලි ස්වභාවයක් තිබූ බවත් හියුංෂියෑං හිමි දැන ගත් නිසා ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහස අතහැර දමා තිබෙනවා. මේ නිසා පස්වැනි සියවසේදී ශ්‍රී ලංකාවට පැමිණි පාහියන් හිමියන්ගේ චීන වාර්තා ඉතාම පැරණිතම වාර්තා ලෙසින් සැලකිය හැකිව තිබෙනවා.
ශ්‍රී ලංකාව ගැන තවත් චීන භික්ෂූන් වහන්සේ නමක් තොරතුරු සිය වාර්තාවල ලියා තිබෙනවා. ඒ හිමියන් ත්‍රට් සිං හිමි නමින් හඳුන්වනවා. උන්වහන්සේ ද ශ්‍රී ලංකාවට වැඩම කර නැහැ. පාහියන් හිමියන් ශ්‍රී ලංකාවේ ගත කළ කාලයේදී අනුරාධපුරයේ අභයගිරි විහාරයේ වැඩ සිටියා. පාහියන් හිමියන් ශ්‍රී ලංකාව පිළිබඳ සිය ඇසින් දුටු ආගමික උත්සව මෙන්ම පුද පූජා ද, භික්ෂූන් වහන්සේලා ගැන ද අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන්ම දළදා වහන්සේ පිළිබඳව ශ්‍රී පාදය පිළිබඳ සිය වාර්තාවල සඳහන් කර තිබෙනවා. එමෙන්ම ඒ කාලයේ පාහියන් හිමියන්ට අසන්නට ලැබුණු ජන කතා ද සිය වාර්තාවලට ඇතුළත් කිරීමට අමතක කර නැහැ. දළදා පෙරහර පාහියන් හිමියන් දැක තිබෙනවා. අනුරාධපුරයේ දළදා පෙරහර තිබුණු ආකාරය ඉතා විචිත්‍රවත් ලෙස සඳහන් කර තිබෙනවා. මීට අමතරව අභයගිරිය, මහා විහාරය හා මිහින්තලේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා පිළිවෙළින් පන්දහසක්, තුන්දහසක් සහ දෙදහසක් ලෙසින් ද සඳහන් කර තිබෙනවා. පාහියන් හිමියන් ඉතා සංවේදී අවස්ථාවකට මුහුණ දුන් ආකාරය ද සිය වාර්තාවේ සඳහන් කර තිබෙනවා. ඒ සිදුවීම මෙසේය. සිය ජන්ම භූමිය වූ චීනයෙන් පිට වී වසර ගණනාවක් ගත වී තිබියදී අනුරාධපුරයේ බුදු පිළිමයකට පූජා කරන ලද පූජා භාණ්ඩයක් දැක තිබෙනවා. පාහියන් හිමියන්ට සිය මවුබිම මතක් වී සිත ඉමහත් සංවේගයට පත්ව තිබෙනවා. බුදු පිළිමයට චීනය සාදන ලද පට පිළියෙන් යුත් අවානක් පූජා කර තිබෙනු පාහියන් හිමි දැක තිබෙනවා. පට පිළිවලට චීනය ඉතා ප්‍රකටයි. එහෙයින් එය සිය ජන්ම භූමියෙන් පැමිණි කෙනකු පූජා කරන ලද්දක් බව කියා තිබෙනවා. හියුෂියෑං හිමියෝ ද ඉන්දියාවට පැමිණ ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු රැසක්ම ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පැමිණි භික්ෂූන් වහන්සේලාගෙන් අසා ලියාගෙන තිබෙනවා. හියුෂියෑං හිමියන් ශ්‍රී ලංකාව හඳුන්වාදී ඇත්තේ ‘ රත්නදීප ‘යන නාමයෙන්. මැණික් බහුල ලෙසින් හමු වන නිසා එම නාමය භාවිත කර තිබෙනවා.
පාහියන් භික්ෂුව ශ්‍රී ලංකාවට වැඩම කළේ කුමන අරමුණකින් ද ?
අද මේ පිළිබඳවත් විවිධ මත තිබෙනවා. නමුත් උන්වහන්සේ පැරණි සේද මාවත ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේ බෞද්ධ සංස්කෘතියේ හර පද්ධතීන් අධ්‍යයනය කර චීනයට ඒවා රැගෙන යන්නයි. විශේෂයෙන් පාහියන් භික්ෂුව විනය පිටකය පිටපත් කර චීනයට රැගෙන ගියා. පාහියන් භික්ෂුව චීනයට ගෙන ගියේ විනය පිටකය පමණක් නොවෙයි. ශ්‍රී ලාංකේය සංස්කෘතියේ හරපද්ධතීන් චීන ජනතාව අතරට ගෙන ගියා. මෙයින් අපට එක දෙයක් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. පැරණි ගොඩබිම් සේද මාවත කේන්ද්‍ර කර ගනිමින් වෙළෙඳම සහ බුදු දහම ලෝකය පුරා ව්‍යාප්ත වුණා. සංස්කෘතික සබඳතා පුළුල් වුණා. ශ්‍රී ලංකා – චීන සබඳතා ශක්තිමත් වීමට පදනම සකස් වුණේ මේ අන්දමින්. මේ නිසා සේද මාවත කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ සංස්කෘතික සබැඳියාව ශක්තිමත් වුණා. සිංහල සංස්කෘතියේ හොඳ ගුණාංග චීන සංස්කෘතිය හා බද්ධ වුණා සේම චීන සංස්කෘතියේ හොඳ ගුණාංග සිංහල සංස්කෘතිය හා බද්ධ වුණේ සේද මාවත නිසයි.
නිදසුනක් පෙන්වා දිය හැකිද ?
ඔව්, නිදසුන් ගණනාවක් කියන්න පුළුවන්. අද චීනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන ආගන්තුක සත්කාර මානව ශිෂ්ටාචාරයේ නව මානයන් නිර්මාණය කරන්න හේතු වී තිබෙනවා. මා ඉහතින් කියූ අන්දමට සංස්කෘතික සබැඳියාවෙන් සිදු වන්නේ ජාතීන් අතර අනෝන්‍ය අවබෝධයයි. විශේෂයෙන් චීන ජනතාව ලොව පුරා ඇති සංස්කෘතීන් සමඟ ඉතා අවබෝධයෙන් අත්වැල් බැඳගෙන තිබෙනවා. එකට වැඩ කරන්න පටන්ගෙන තිබෙනවා. නිදසුනක් වශයෙන් ගතහොත් අද චීනයේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය තුළ විදේශ භාෂා 101ක් උගන්වනවා. සිංහල, දෙමළ පාලි සහ සංස්කෘත යන භාෂා හතරම එම විශ්වවිද්‍යාලයේ උගන්වනවා. මෙයින් කියන්නේ මොකක්ද ?. භාෂාවකින් සිදු වන්නේ සංස්කෘතික හුවමාරුවක්. ඒ වගේම සංස්කෘතික බැඳීමක්. චීන ජනතාව ලෝකයේ සෑම සංස්කෘතියකටම ගරු කරනවා. ජාතීන්ට ගරු කිරීම චීන රාජ්‍ය ප්‍රතිපත්තියයි. චීන සංස්කෘතියේ තිබෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි, චීන භාෂාවට මුල් තැන දීම. රටක් ඉදිරියට යන්න නම් තම භාෂාවට මුල් තැන දෙන්න ඕනෑ. අද චීන ජාතිකයන් දෙදෙනකු එකට හමු වූ විට ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ. ඔවුන් කතා කරන්නේ චීන භාෂාවෙන්. නමුත් මම දැකලා තියෙනවා ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එකට එකතු වුණාම ඇතැම් විට කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මේ තත්ත්වයට හේතු ගණනාවක් බලපානවා. එයින් එක් හේතුවක් තමයි බ්‍රිතාන්‍යයට ශ්‍රී ලංකාව යටත් වී තිබීම. සංස්කෘතියකට ශක්තිමත් භාෂාවක් තිබෙන්න ඕනෑ. නැති නම් රටක ප්‍රෞඩත්වය බිඳ වැටෙනවා.
අපි සිංහල භාෂාවට මුල් තැන දීලා ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්න රටක්. අන්තිමේදී යුද්ධයක් ඇති වුණා. ඔබේ මතයට මට එකඟ විය නොහැකියි ?
ඔබ මගේ හැම මතයකටම එකඟ වෙන්න එපා. මම කිසිවිටෙක කියන්නේ නැහැ ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා කියලා. චීන ජාතිකයන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි ඉතා වැදගත්. නමුත් ඉංග්‍රීසි අපට වැදගත් වෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කිරීමට පමණයි. ඉංග්‍රීසි ආභරණයක් කර ගත්තොත් දේශීය චින්තනය විනාශ මුඛයට යනවා. චීනය දියුණු වුණේ තමන්ගේම භාෂාවකින් සහ චින්තනයකින් ලෝකය දෙස බැලූ නිසයි. කොම්පියුසස්තුමා කියන්නේ සමගිය, සාමය සහ සහජීවනය ඇති කරන්න භාෂාව සවිබලයක් වන බවයි. අපි එක දෙයක් මතක තබා ගත යුතු වෙනවා. ඒ තමයි සංස්කෘතියට උස් පහත්, දුප්පත්, පොහොසත් භේදයක් නැහැ. සංස්කෘතිය කියන්නේ විශ්වීය සාධකයක්. ඒ නිසා තමයි සංස්කෘතිය තුළින් සහජීවනය අපට ළඟා කර ගත හැකි වන්නේ. සහජීවනයට පයින් ගහලා යන්න හදන ඕනෑම ජාතියක් විනාශ වෙනවා.
චන්දන විජේකෝන්