Tuesday, April 22, 2025
Home » බිත්තර, බිස්කට්, කැරට් පාඩම්

බිත්තර, බිස්කට්, කැරට් පාඩම්

by sachintha
July 23, 2024 1:00 am 0 comment

යළිත් බිත්තර වැඩේ පත්තු වී ඇත. ඡන්ද ආදිය ළං වෙන කල්හි සමහරු ගැරුම් වට්ටි අතට ගන්නාහ. තම සිතැඟි දේශපාලන ප්‍රවාහයට ජය කොඩිය දැමීම සඳහා හැකි සෑම ආකාරයෙන්ම ආණ්ඩුවට පීඩා එල්ල කිරීම මේ ආකාරයට ගැරුම් වට්ටි අතට ගැනීමේ අරමුණය.

බිත්තරය වූ කලී, අවම මිලට ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගත හැකි ආකාරයකි. මේ සඳහා සුදුසුකම් ලබන මාළු සහ මස් ආදිය දෛනික ආකාරයෙන් පංගුවට එක්කර ගැනීමට බර ගාණක් වියදම් වන හෙයින් ආර්ථික අමාරුකම් ඇති පවුල් සඳහා බිත්තරය පිහිටට එන්නේය.

මේ රටේ බිත්තර ව්‍යාපාරිකයෝ ඒ ආකාරයේ කල්පනාවක නියැළෙන්නේ නැත. ඔවුහු සිය පෝෂණය සහ දේශපාලනය ආදිය කල්පනාවට ගෙන බිත්තර මිල තීරණය කරන්නෝය.

බිත්තර මිල ද දැන් චක්‍රයක දැවටී තීරණය වන්නේය. උත්සව සමයක් ළඟ එන විට ‘බඩු හිඟය’. සිංහල අවුරුද්ද, නත්තල සහ ජනේරුව ආසන්න වන විට හිඟවීමේ ප්‍රතිඵල එන්නේය. දැනෙන ගාණකින් බිත්තර මිල වැඩි වන්නේය. ඒ සමඟ ආණ්ඩුව රටින් බිත්තර ගෙන ඒම සඳහා ඇණවුම් ලබා දෙන්නේය. එසැනින් බිත්තර මිල සාමාන්‍ය ගාණට ‘ගහෙන් බසින්නේය’.

මේ රටේ ආහාර උද්ධමනය වැඩිවීම සඳහා බලපා ඇත්තේ නිෂ්පාදන මිල, ගොවිපොළ මිල, ප්‍රවාහන දීමනා ආදිය නොව නිෂ්පාදකයාගේ සිට අතරමැදියා දක්වා වූ යන්ත්‍රණයය. එතැන් සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩය ළඟාවෙන විට, භාණ්ඩයේ මිල ඕසේට වැඩි වී ඇත්තේය.

මේ ආකාරයට සහල්, එළවළු ආදී මාෆියා ගණනාවක් අපේ කෑම පංගුවට වද දෙන්නේය. දැන් බිත්තරය ද ඒ අස්සට රිංගා තිබේ. ලොකු ලාභ තීරුවක් අපේක්ෂාවෙන් මේ ආකාරයට ආහාර සමඟ සෙල්ලම් කිරීමට ඉඩදීම සමාජයක් ලෙස නොකළ යුත්තේය. ඒ සඳහා අප මෑතකදී අනුගමනය කළ ක්‍රියාමාර්ග දෙකක් පළ දරා ඇත.

පළමුව එම සන්තෑසිය අත්කර ගත්තේ බිස්කට්ය. අනෙක අමාරුකම් මැද්දේ සිය පාරිභෝගිකයා සිටිනා කල, බිස්කට් බිස්නස් හිමියෝ, එහි මිල දැනෙන ආකාරයට වැඩි කළහ. තම ලාභය යම් පමණකට අඩු වුවද සමාජයක් ලෙස සිතා ඒ සඳහා කටයුතු යෙදීමට එම පිරිස කාරුණික නොවූහ. කඩයේ රාක්කයට පැමිණ වෙනදා ගත් බිස්කට් පැකට්ටුවේ ගණන් බැලූ කළ පාරිභෝගිකයා ගැස්සී ගියේය. මේ ඉන්ධන, ගෑස් ආදී පෝලිම් තිබූ සමයය.

එහෙයින් ජනතාව, අවම තරමේ සහනශීලි පිළිවෙතක් සෑම ව්‍යාපාරයකින්ම අපේක්ෂා කළේය. පාඩු නොලබන තත්ත්වය අනෙකකි. ලාභය මඳක් අඩුවීම සඳහා ගසා ගෙන කෑම තව වැඩකි. බිස්කට්කාරයෝ ලාභය තකා අවස්ථාව උපයෝගී කරගත් විට, ඒ සඳහා පාරිභෝගිකයා හොඳ ආකාරයෙන් උත්තර බැන්දේය. වහාම බිස්කට් වර්ජනයක් සඳහා සියල්ලෝ යොමු වූහ.

ඊළඟට සියයට පනහේ අඩු කිරීම් දමා බඩු විකිණීමට පිරිසට සිදු විය.

අනෙක කැරට්ය.

රත්රන් ‘කැරට්’ යන අගයෙන් මනින්නේ ඒසා මිලක් කැරට් උදෙසා අය කරන බැවින් යැයි අප සිතන්නට ගත්තේ, ඒ දිනවල කැරට් මිල දෙස බලාය. කැරට් කිලෝග්‍රෑමය රුපියල් දෙදාහට ගිය කාලයක් විය. ඒ කාලයේ යම් අයෙක් වෙත කැරට් ආහාරය සඳහා ගැනීමට අවශ්‍ය නම්, කොල්ලකෑ යුතු තත්ත්වයක් උදාවී තිබුණි. මේ ලැබෙන පඩියට කැරට් ගත හැකි තත්ත්වයක් රටේ තිබුණේ නැත. අප සිදු කළේ දෛනික එළවළු ලිස්ට් එකෙන් කැරට් කපා දැමීමය. ඒ සමඟ දෙදාහේ කැරට් කුණු ගොඩට ගාල් වන්නට විය.

ඔය ආකාරයේ පාඩමක් බිත්තර සඳහා අප ඉක්මනින්ම ඉගැන්විය යුත්තේය.

දැනට වෙළෙඳපොළේ පවතින බිත්තර අලෙවි මාෆියාව තුළින් අධික ලාභ ඉපැයූ බිත්තර ව්‍යාපාරිකයකු හෙලිකොප්ටරයක් මිල දී ගැනීමට තරම් ධනවතකු වී ඇතැයි වාර්තා වේ.

බිත්තරය නිෂ්පාදන මිල රුපියල් තිහට අඩුය. කඩේ බිත්තරයක මිල පනස් පහකි. අතරමඟ වියදම් මේ තරම් සැරවන්නේ, මුදලාලිලා ලබන සුපිරි ලාභ නිසා මිස කිකිළියෝ වැඩවර්ජන සිදු කරන නිසා නොවේ.

මෙසේ ලබන අසීමාන්තික ලාභය දරා ගත නොහැකි වන එක් බිත්තර මුදලාලි කෙනෙක් හෙලිකොප්ටරයක් ගැනීම සඳහා ඇණවුමක් භාරදී ඇති බව ‘දිනමිණ’ට සැලව තිබුණි. මේ තරම් මුදල් කන්දරාවක් යනු සාර්ථක ව්‍යාපාරයක රහස නොව, ගසාගෙන කෑමේ මහතය. ඔය ආකාරයට දේශයේ ජනී ජනයාගේ පෝෂණය සමඟ සෙල්ලම් කරමින්, තම ලාච්චුව පුරවා ගැනීම සඳහා බිත්තර මුදලාලිලා කටයුතු කරන කල්හි විපාක දෙකක් අත් වන්නේය.

එකක් රටින් බිත්තර ගෙන ඒමට ආණ්ඩුවට සිද්ධ වීමය. එය නිතර නිතර කරන කල්හි, දේශීය බිත්තර ව්‍යාපාරය හබක්ය. අනික බිත්තර මිල දරා ගත නොහැකි කල්හි ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාව සඳහා වන සරල සහ පහසු මඟ ඇහිරී යන්නේය. එතැනදී විකල්පයක් නැති හෙයින් අඩු මිලට රටින් එන බිත්තරය ජනතාව ආහාරයට ගන්නාහ. මේ රටේ කුකුළු ගොවිපොළ කර්මාන්තය ස්වයංපෝෂිත තත්ත්වයක පවතින්නකි. එය පහසුවෙන් ඇති කරගත හැකි තත්ත්වයක් නොවේ.

විශේෂයෙන්ම මෙවන් ආර්ථික අහේනි ඇති සමයක රටේ කර්මාන්ත, අපේ අතින්ම වනසාගත යුතු නැත. බිත්තර මුදලාලිලාගේ හෙලිකොප්ටර් අමාරුව සනීප කර ගැනීම සඳහා ජාතියේ පෝෂණය හෝ ස්වයංපෝෂිත කර්මාන්තයක් බිලි දිය යුතු නැත.

එහෙත් බිත්තරය මේ ගාණට මිල ඉහළ නංවන විට ඒ සඳහා වර්ජනයක් දියත් නොකළහොත් මුදලාලිලා පාඩමක් ඉගෙන ගන්නේ ද නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT