ඓතිහාසික අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර ඉකුත් ඇසළ පොහෝදා (20) වීදි සංචාරය කෙරිණි.
විසි අටවැනි (28) වරටත් පවත්වන්නට යෙදුණු මෙම පෙරහර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා අටමස්ථානයට අයත් වෙහෙර විහාරස්ථානවල මහා නා හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් සහා උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත්ව පැවැත්විණ.
අලි ඇතුන් 8 දෙනෙකුගෙන් සහ නර්තන අංග තිස් හතකින් පමණ පෙරහර සමන්විත විය.
ජය ශ්‍රී මහා බෝධි නැඟෙනහිර වාහල්කඩ අබියස දී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් අනතුරුව පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සහ අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ අතින් සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර කටයුතු ආරම්භ විය.
පොලිසිය සහ සියලු සෙසු ආරක්ෂක අංශ පෙරහරේ ආරක්ෂාව හා සංවර්ධන කටයුතුවල නිරතව සිටියහ.
ශ්‍රී මහා බෝධි නැඟෙනහිර වාහල්කඩ අබියස පෙත්මඟ ඔස්සේ ගමන් ආරම්භ කළ පෙරහර ශ්‍රී මහා බෝධි උතුරු වාහල්කඩ අබියසින් රුවන්වැලි මහා සෑ පෙත්මඟට පිවිස එතැන් සිට අනුරාධපුර පැරණි රෝහල ඉදිරිපසින් ථූපාරාම විහාරය අබියසට පිවිස එතැන් සිට අනුලා මාවත ඔස්සේ අභයගිරි විහාර භූමියට පිවිස පෙරහර ගෙවැදීම සිදු කෙරිණ.
පෙරහර නැරඹීමට පැමිණි දහස් සංඛ්‍යාත ජනයාගෙන් පෙරහර ගමන් මග පිරී පැවතුණි.
මෙවර අනුරාධපුරය ඇතුළු නුවර පමණක් වීදි සංචාරය කෙරුණු පෙරහර ලබන ඇසළ පොහොය දින සිට අනුරාධපුර නගරයේ වීදි සංචාරය කිරීම ආරම්භ කරන බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියෝ පෙරහර නිමිත්තෙන් පැවැති දහම් හමුවේදී පැවැසූහ.
උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සහභාගිත්වයෙන් හා උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණ පෙරහර උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර, පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් සිරි මෙවන් ධර්මසේන, ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ගයාන් ඉන්දික යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් හා රාජ්‍ය නිලධාරීන් රැසකගේ සම්බන්ධීකරණය ඇතිව ඉතා විචිත්‍රවත් ලෙස පැවැත්විණ.
අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ