ජනාධිපතිවරණය බූරු පිටියක් බවට පත් කර ගැනීමට පිරිසක් දත කන්නාහ. ඔවුහු භීතියක් මවන්නාහ. එහි අරමුණ වන්නේ ආණ්ඩුව ඡන්දය කල් දැමීම සඳහා ගැට දමනවා යැයි කියමින්, සිය පාර්ශ්වයේ අරමුණ වෙත යෑමය.
ඡන්දය කල් දැමීමට අවශ්‍ය වේ නම් ඕනෑවටත් වඩා ආම්පන්න ආණ්ඩුව සතුය. පළමුව කළ යුතුව තිබුණේ රට බංකොලොත්භාවයෙන් නිදහස් නොකර, ණය මත්තේ තව මාස හය හතක් ගෙවා දැමීමය. ඒ ආකාරයට සිදු කර, මූල්‍ය අරමුදලේ තුන්වෙනි වාරිකය ලබා ගැනීම පමා කළේ නම් ඡන්දය පැවැත්වීම සඳහා රටේ මුදල් නැත. භාණ්ඩාගාරය බලන ඕනෑම අයෙක් වෙත එය පෙනී යන්නේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන්වා “ඡන්දයට මුදල් ලබා දෙනු” යැයි අණ දුන්න ද, බැලන්ස් ෂීට් එක පෙන්වූ කළ, අධිකරණය ද සලිත වන්නේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් වෙන් කර දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත අධිකරණය නියෝග කළේ වුවත්, එවැනි මුදලක් නොමැති නම් ඒ සඳහා වෙන් කිරීමක් කරනුයේ කෙසේද යන ප්‍රශ්නය පැන නැඟුණේය. එහෙයින් පළාත් පාලන ඡන්දය, ආර්ථික අර්බුදය තුළම නොපෙනී ගියේය.
ජනාධිපතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය වී නම් ඒ සඳහා දැමිය හැකි පළමු ගැටය වන්නේ ‘බංකොලොත් ලේබලය’ දිගටම අලවාගෙන සිටීමය. ඒ මතු නොව, පසුගිය සතියේ මැතිවරණ කොමිසම සහ මුදල් අමාත්‍යාංශය අතර හමුවක් සිදු විය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව මුදල් අමාත්‍යාංශයට ඇති බව එහිදී, මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙනු ලැබීය. 2024 අය වැය මඟින් රුපියල් බිලියන 10ක මුදලක්, වෙන් කර ඇති හෙයින්, එය ලබාදීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව එහිදී මුදල් අමාත්‍යාංශ පාර්ශ්වය ප්‍රකාශ කළේය. මෙම සාකච්ඡාවේ ප්‍රතිඵල මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර රටට ප්‍රකාශ කළේය. මැතිවරණ කොමිසමට එකක් කියා රටට තව එකක් ආණ්ඩුව කිව්වේ නැත. හැම තැනම කියන ලද්දේ එක් දෙයකි.
මේ පිරිස ජනාධිපතිවරණය කල් දැමීමේ වුවමනාවක් ආණ්ඩුවට ඇතැයි මුල සිට කියාගෙන ගියේය. එහෙම අවශ්‍යතාවක් පිළිබඳව ආණ්ඩුව කතා කළේ නැති වුවද විපක්ෂය දිගටම කියා සිටියේ, ආණ්ඩුව ඡන්දය කල් දැමීම සඳහා සැරසෙන බවය.
ආණ්ඩුවේ ඇඟට වැඩේ දමා, විපක්ෂය තමන්ගේ වැඩේ කර ගැනීම සඳහා කටයුතු කර ගන්නවාද යන සැකය මෙතැනදී එන්නේය.
මිට දෙවසරකට පෙර මේ රටේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණයක් පැවැත්විය. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වූවේ වැඩ බලන ජනාධිපති ලෙසය. අත්‍යවශයෙන් මේ සඳහා අනෙක් අපේක්ෂකයා විය යුතුව තිබුණේ රටේ විකල්ප නායක ලෙස විපක්ෂ නායකයාය. ඔහු ඒ මොහොතේ ප්‍රකාශ කරන ලද්දේ තමන් පාර්ලිමේන්තු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවය. ඡන්ද විමසීම පැමිණි විට ඒ සදහා ඔහුගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද්දේ ඩලස් අලහප්පෙරුමය.
මේ ආකාරයට ජනාධිපතිවරණය පිළිබඳව භීතිකාවක් ද විපක්ෂයට තිබිය හැකිය.
ඒ නිසා වැඩේ ආණ්ඩුවේ ඇඟේ ගැසීමේ වුවමනාවක් දැන් විපක්ෂයට තිබේ. ජනාධිපතිවරයාගේ කාලසීමාව සම්බන්ධයෙන් නඩුකර දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පැමිණියේය. එකක් සී.ඩී. ලෙනව නම් ව්‍යාපාරික මහතාගෙන්ය. අනෙක අරුණ ලක්සිරි උණවටුන නම් නීතිඥ මහතාගෙනි.
ලෙනවගේ නඩුව අතරේ විපක්ෂය ෆුල් පබ්ලිසිටි දෙමින් කියා සිටියේ, එම නඩුව පිටුපස සිටින්නේ ආණ්ඩුව බවය. වැඩේ එළි වූයේය. ලෙනවට යම් දේශපාලන සම්බන්ධයක් හෝ තිබුණේ සජබය සමඟය. ආණ්ඩුවේ කිසිවෙක් සමඟ, ලෙනවට කිසිදු ඇයි හොඳැයියක් තිබුණේ නැත. ලෙනව නඩුවේදී ආණ්ඩුව වෙනුවෙන් නීතිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බවය. එම මතය පිළිගත් අධිකරණය නඩුව ඉවත දැමුවේය. අරුණ උණවටුන ද ලක්ෂ පහක දඩයක් ද කා, ජනාධිපතිවරයාගේ කාලය වසර පහක් බව අධිකරණයෙන් දැන ගත්තේය.
යම් හෙයකින් අධිකරණය මෙම වසර ගණන හයක් ලෙස සඳහන් කළේ නම් ආණ්ඩුව, අධිකරණයට බලපෑම් කර තීන්දුවක් ගෙන ඇති බව විපක්ෂය කියන්නේය.
කාල සීමාවේ මතභේදය, ව්‍යවස්ථාවක එසේ තිබිය, නොහැකිය.
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න වෙත භාර දුන් ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කිරීමේ කාර්යය නිසි අයුරින් ඉටු නොකළ හෙයින් අද රටක්ම පටලැවිල්ලකට පත්ව තිබේ. වැඩේ කියන්නේ තම නොහැකියාව හේතුවෙන් රටම වැඩේ පටලවාගෙන සිටීම නිවැරදි කිරීම සඳහා ආණ්ඩුව 22 වෙනි සංශෝධනය ගෙන එන විට, ඒ සඳහා ජයම්පති ද එරෙහිව සිටීමය.
ව්‍යවස්ථාවේ ඇති මතභේදාත්මක තත්ත්වය එසේ තිබේවා කියා ආණ්ඩුවකට ගමනක් යා නොහැකිය. ජනාධිපතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍යය. එසේ වුවත් ව්‍යවස්ථාවේ ඇති අවුල තබාගෙන ඉදිරියට යා නොහැකිය.
දිගින් දිගටම ආණ්ඩුව පෙනී සිටියේ ඡන්ද පැවැත්වීම සඳහා මිස කල් දැමීම සඳහා නොවේ. වසර පහේ කාලසීමාව සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වය දිගටම පෙනී සිටියේය.
ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ හැක්කේ සහ බලාත්මක කළ හැක්කේ ආණ්ඩු ක්‍රමයේ සිදුරු තබාගෙන නොවේ. මේ වනාහී ශ්‍රී ලංකාව නැවත නැඟී සිටින කාලයය. ආර්ථික අතින් දේශය හිස ඔසවන සමයේ, ප්‍රජාතන්ත්‍රවාදයට පා පහරක් ලබා දී බිම දැමීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය නැත. එහෙත් වියවුලක් සමඟ ඉදිරියට යා නොහැකි බැවින්, වැඩේ නිරාකරණය කරගෙන ඉදිරියට යෑම අනිවාර්යයෙන්ම කළ යුතුය.
සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ ගාල්ලේ අධිකරණ සංකීර්ණය විවෘත කරන අවස්ථාවේදීය.
බිය ඇති කරගත යුත්තේ වැරදි ව්‍යවස්ථාවක් සමඟ ඉදිරියට රට ගෙන යෑමට හෙයින් මේ මොහොතේ විසි දෙක අල්ලාගෙන, නැති කතා හදන්නේ නැතිව, නිවැරදි ව්‍යවස්ථාවක් සමඟ රට වෙනුවෙන් ඉදිරියට යමු යන්න අපගේ යෝජනාවය.