ළඟ නැවීම යනු දීඝිති කෝසල ජාතකයට අනෙක් අන්තයය. මේ ඇසළ පුන් පොහෝ දිනයේ “පුත ළඟ නොබලන්න. දුර බලන්න” යන දීඝායු කුමාරයා වෙත ලබා දුන් අවවාදය මේ තීරුව සිහිපත් කරනුයේ, අප පොදුවේ මෙම ළඟ නැවීම සඳහා පෙලඹීමෙන් සිදු කරගෙන ඇති හානිය කියා පෑම සඳහාය.
ආර්ථික ප්‍රශ්න හමුවේ මේ රටේ ජනී ජනයා සිතන්නේ වහ වහා ඒ සඳහා විසඳුම් ඇත්තේ බවය. මාසයේ වැටුප, මේ ජීවන වියදම සමඟ ගැළපෙන්නේ නැත. කෑම බීම සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වියදම් කළ කල්හි සියලු දෙනා යන්නේ හොම්බෙන්ය. ඒ අතරේ අටෝ රාශියක් ප්‍රශ්න ඇති වන්නේය. මේ සඳහා විය හියදම් අතේ නැත්තේ හෙයින් ණය වීමට සිදු වන්නේය. පහළ මධ්‍යම පන්තිය වූ කලී ඔය ජීවන චක්‍රය සහ සංසාර චක්‍රය යන දෙකටම මැදිව සැරිසරන කාණ්ඩයකි.
ඒ සඳහා ඇති විසඳුම් සරලය. ආදායම් මාර්ග වැඩි කර ගැනීම සහ වියදම් පාලනයය. වියදම් පාලනය යනු අප අකමැතිම මාතෘකාවකි. වියදම් පාලනය සඳහා යන්නේ නම් කැප කිරීමක් කළ යුතුය. ඒ මිස වෙන වෙන සරල සූත්‍ර නැත. ආදායම් වැඩිකර ගැනීම යන අන්තයේදී අප සැමටම අවශ්‍ය එක්වර කොඩිය ගැනීමටය. එහෙම එක්වර කොඩිය ගැනීම සඳහා වන මුදල් සොයනා මාර්ග සෙවීමට ගොස් අප පමණක් නොව රට ද අමාරුවේ වැටෙන කතන්දර බොහෝය.
ක්‍රිප්ටො කරන්සි සෙල්ලම ඒ ආකාරයේ ළඟ නවා මුදල් සෙවීමේ සිහිනයට කරන ආමන්ත්‍රණයකි.
පිරමීඩාකාර ජාවාරම් සඳහා අසුවීම නිමක් නැති හෙයින් යම් තරමකට අකුරු සාස්තරේ දන්නා සියලු දෙනා වෙත තේරෙන පරිදි රජය සහ මහ බැංකුව ඒ ගැන දැනුම්වත් කිරීම් රාශියක් සිදු කළේය. ඒ කිසිවක් අපේ ‘ළඟ නැවීමේ’ වුවමනාවට අදාළ නැත. කොහේ හෝ යන මර්සිකාරයෙක් යෝධ මුදලක් සතියක් දෙකක් ඇතුළත ලබා ගත හැකි බව කියූ සැණින් අප දැලේ පැටලෙන්නේය. මේවා ‘ලණු කනවා’ යන ගණය ඉක්මවා යන්නේය. ගහ ‘පොල්’ යැයි සඳහන් කළ පමණින්, එහි මුඳුනට නැඟ, ගෙඩි කඩා, ලෙලි ගසා, අඹරාගෙන ලණු කන, ජාතියේ වැඩය.
චීන ජාතිකයෝ ඇතුළු විදේශිකයෝ තිස් නවයක් මේ රටේ ඔය ආකාරයේ ක්‍රිප්ටෝ කරන්සි සෙල්ලම පටන් ගත්හ. අන්තර්ජාල ආයෝජන ක්‍රමයක් ලෙස ක්‍රිප්ටො මුදල් හඳුන්වාදී, එහි ප්රතිලාභ ලබා දීමට යැයි පවසමින්, මෙම පිරිස එතෙරට යවා ඇති මුදල් කන්දරාව, රුපියල් කෝටි 5000කට අධිකය. මුකේෂ් අම්බානිගේ බාල පුත් ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ දින තුනේ, විවාහ මංගල්‍යය සඳහා ගිය වියදම ඉන්දීය රුපියල් කෝටි 5000කි. ඉන්දියන් රුපියල සහ ශ්‍රී ලංකා රුපියල අතර මේ දිනවල හුවමාරු අනුපාතය 3.65කි. ඒ අනුව අම්බානිගේ විවාහ මංගල්‍යය සඳහා වැයවෙන වියදමෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් අප මෙසේ චීන හොර නඩයකට ප්රදානය කර ඇත්තේය.
දැයේ දරුවන්ට, පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් රජය ශිෂ්‍යත්ව ලබා දෙන්නේය. මෙම වැඩසටහන් සියල්ල සඳහා ජනාධිපති අරමුදල දරන වියදම රුපියල් කෝටි පන්සියයකි. මේ මුදල ඒ සඳහා ලබා දුන්නේ නම් එමෙන් තව දස ගුණයක දරු පිරිසක් වෙත ශිෂ්‍යත්ව ලබා දීමට හැකි වෙනවා ඇත්තේය. කොහුවල ගුවන් පාලම ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 35කි. ඒ ජාතියේ පාලම් 142ක් පමණ මෙම මුදලින් ඉදිකිරීමට හැකි වෙනවා ඇත.
ළඟ නැවීමට ගොස් විනාශ කරගත් මුදල් කන්දරාවේ තරම දැන් පැහැදිලිය. රටේ ජාතික ධනය මේ ආකාරයට නාය යන්නේ තෙල් සහ ගෑස් වැනි දේ ගෙන්වීම සඳහා වසර දෙකකට පෙර ඩොලර් නොමැතිව දින ගණන් පෝලිමේ සිටි රටකය. ණය ගෙවා ගත නොහැකිව බංකොලොත්භාවයේ තිබූ රටකය. යන්තම් ආර්ථිකය හිස ඔසවද්දී එයට මේ ජාතියේ කුළුගෙඩි පහරක් ගසනවා කියන්නේ, ආයෙත් ඔළුව උස්සන්න බැරි තරමට වැඩේ සුන් බවය. දෙසිය විසි පහ ‘රට කෑවා’ යන මන්ත්‍රය මතුරන අප අතර සිටින පිරිස් මිස, මේ වන දේ සඳහා දෙසිය විසි පහ සල්ලි විසි කළේ නැත.
මේ මුදල් රිකවර් කර ගැනීම සඳහා වහා කළ යුතු එක් දෙයක් තිබේ. දැන් කාලයකට ඉහත රත්නපුරේ පැත්තෙන් කිලෝ 510 මැණික් පොකුරක් මතුවිය. ලෝකය වටා ගෙන ගිය ද එය විකුණා ගැනීමේ හැකියාවක් තිබුණේ නැත. එහි තක්සේරු මිල නම් රුපියල් කෝටි 5000කි. කොහොමින් හෝ මේ මැණික් කුට්ටිය, පිටරටකට තල්ලු කර ගත්තේ නම් අර ගාණ කවර්ය.
ඔය අහුවුණු කේස් එකකි. මේ ආකාරයේ ගරානා බර ගණනක් තවමත් රටේ සිද්ධ වෙනවා ඇත. මේ සඳහා මුදල් යොදනා පිරිස තනි තනිව බංකොලොත් වන්නේය. එවන් සිද්ධි තුන හතරක් වූ විට ‘ගිලෙන්නේ නැව පිටින්ය’.
ළඟ නැවීමේ ආදීනව, පුවත් ලෙස දැන ගත්තේ වුවද අප මට්ටු වන්නේ නැත. අතේ පත්තු වෙද්දී පවා දුවන්නේ ඒ දෙසටමය. අවසානයේ ගොඩ යෑම කෙසේ වෙතත් තව තවත් වළටම ඇදවැටෙනවා මිස තනි එකාට සහ රටටම ගොඩ යෑමක් නැත්තේය. ඒ නිසා මේ ආකාරයේ ළඟ නැවීමට ගොස් රට පිටින් නා ගැනීම සඳහා නොයවන ලෙස මේ තීරුව ජනතාව වෙත අවධාරණය කරන්නේය.