Wednesday, April 23, 2025
Home » කංජිපානි හා ගණේමුල්ලේ සංජීව රටින් පන්නපු හැටි ඒ අයගේ නීතිඥයන්ගෙන් අහන්න

කංජිපානි හා ගණේමුල්ලේ සංජීව රටින් පන්නපු හැටි ඒ අයගේ නීතිඥයන්ගෙන් අහන්න

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්

by mahesh
July 19, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

– යුක්තිය මෙහෙයුම විවේචනය කරන අය ගම්වලට ගිහින් බලන්න
– කංජිපානි අල්ලගන්න හිටපු පොලිස් පරීක්ෂක දුමින්දට හැකිනම් අවශ්‍ය පහසුකම් සලසන්නම්
– අල්ලන කුඩුවලට වෙන දේ බලන්න වනාතවිල්ලුවට එන්න
– ක්ලබ් වසන්ත ඝාතනයට හවුල් දෙන්නකු හැර සියලු දෙනා අත්අඩංගුවේ
– ක්ලබ් වසන්ත මැරෙන කොට අතේ සතේ නැතිව රට වටේටම ණය වෙලා

යුක්තිය මෙහෙයුමෙන් පාතාලය හා මත්කුඩු වැනසීමේදී නීතිඥවරුන් අතලොස්සක් එයට බාධා කරන බවත් කංජිපානි ඉම්රාන් සහ ගනේමුල්ල සංජීව මෙරටින් පැන්නූවේ කෙසේදැයි ඒ අයගේ නීතිඥයන්ගෙන් අසා දැන ගත යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

ඒ අයගේ නීතිඥයන් ඔවුන්ගේ වාහනවල සැකකරුවන් දමාගෙන බෝට්ටුවලට දමා රටින් පැන්නූ හැටි මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පවසා ඇති බවද ඇමැතිවරයා කියා සිටියේය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට ඊයේ (18) එක්වෙමිනි.

රටින් පැන ගොස් ඇති අපරාධකරුවන් පාතාලයන් සියලු දෙනා යළිත් මෙරටට ඉක්මනින් ගෙන එන බවත් හෙතෙම මෙහිදී පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියුතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙසත් ඒ සඳහා අපෙන් කුමක් අවශ්‍ය දැයි පවසන ලෙසත් කංජිපානි රැගෙන එනවැයි පැවැසීම බොරු කතාවක් යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

‘යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් පාතාලයක් නැහැ, මත්කුඩු නැහැ මේ කරන්නේ බොරුවක්’ යනුවෙන් යුක්තිය මෙහෙයුම විවේචනය කරන නමුත් යුක්තිය මෙහෙයුම ආරම්භ කළ පසුගිය දෙසැම්බර් 17 පසු තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවගෙන් විමසා බලන ලෙස ඔහුට කියා සිටින බව ද ඇමැතිවරයා කීය.

මේ වන විට යුක්තිය මෙහෙයුමෙන් රුපියල් බිලියන 19ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒවා විනාශ කිරීම සඳහා වනාතවිල්ලුව ප්‍රදේශයේ රුපියල් මිලියන 25කට වැඩි වටිනාකමකින් යුත් යන්ත්‍රයක් ද ස්ථාපිත කර මේ වන විට හතර වතාවක් මත්ද්‍රව්‍ය පුලුස්සා විනාශ කළ බව ද කීය. එලෙස සිදු කරන්නේ මහේස්ත්‍රාත්වරයා සහ රජයේ රස පරීක්ෂකවරයා ඉදිරියේ බවත් අල්ලන මත්ද්‍රව්‍යවලට මොකද වෙන්නේ යනුවෙන් අසන පුද්ගලයන්ට දැන් සිදුවන්නේ කුමක්ද කියා පැහැදිලිව දැක බලාගත හැකිවී ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

මේ වන විට යුක්තිය මෙහෙයුමෙන් ටී 56, රිවෝල්වර, පිස්තෝල වැනි ආයුධ 955ක්, අත්බෝම්බ 42ක්, පුපුරන ද්‍රව්‍ය කිලෝ 11809ක් වැනි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව ද පෙන්වා දුන්නේය.

අතුරුගිරියේ කැරෝකේ වසන්ත ඝාතනය සිදු වූයේ යුක්තිය මෙහෙයුම පටන් ගැනීමෙන් අනතුරුව ඝාතනය රැල්ල නැවතී තිබී මාස දෙකහමාරකට පසුව බව ද යුක්තිය මෙහෙයුම ආරම්භ කිරීමට පෙර මාස හතක් ඇතුළතදී වෙඩි තැබීම් 54ක්, මිනී මැරුම් 38ක් සිදුව ඇති බව ද දකුණු පළාත තුළ පමණක් යුක්තිය මෙහෙයුම ආරම්භ කිරීමට පෙර මාර්තු මාසයේ පමණක් මිනී මැරුම් 11ක් සිදුව ඇතැයි ද ඇමැතිවරයා කීය.

යුක්තිය මෙහෙයුමට පැසසුම් තමන්ට දිවයිනේ සතර දෙසින් පැමිණෙන බවත් යුක්තිය මෙහෙයුමට විවේචන සිදු කරන පුද්ගලයන් ගම්වල ජනතාවගෙන් යුක්තිය මෙහෙයුම ගැන අසා දැන ගන්නා ලෙසත් එදා කුඩු පැකට් එකක ගාණ කීයද දැන් යුක්තිය මෙහෙයුම පටන් ගැනීමෙන් පසු කුඩු පැකට් එකක ගාණ කීයද කියා සොයා බලන ලෙස ද ඇමැතිවරයා කියා සිටියේය.

යුක්තිය මෙහෙයුම ආරම්භ කළේ කුඩු බොන අය අත්අඩංගුවට ගැනීමට නොව කුඩු විකුණන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට බවත් එම මෙහෙයුමේදී කුඩු ළඟ තබාගෙන සිටින බොන පුද්ගලයන් හසුවුවහොත් ඔවුන්ද අත්අඩංගුවට ගන්නා බව ද කියා සිටියේය.

මේ වන විට අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බොහෝදෙනා අත්අඩංගුවට ගෙන අවසන් බවත් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බවද ඇඹිලිපිටිය සහ අම්බලන්ගොඩ වෙඩි තැබීමේ සිද්ධීන්ට සම්බන්ධ සියලු දෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද ඇමැතිවරයා කීය.

ආයුධ ඇති පුද්ගලයන් ගැන තොරතුරු නොබියව පොලිසියට ලබා දෙන ලෙසත් එලෙස තොරතුරු ලබාදීමෙන් අපරාධ අඩු කිරීමට පොලිසියට සහාය වන ලෙසද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.මෙලෙස වෙඩි තැබීම් සිදු වන්නේ එල්.ටී.ටී.ඊ යුධ සමයේ තිබූ ආයුධ රට තුළ යම් යම් තැන්වල සංසරණය වී ඇති නිසා බවද කීය.

රටින් පැන ගොස් ඇති අපරාධකරුවන් පාතාලයන් සියලු දෙනා යළිත් මෙරටට ඉක්මනින් ගෙන එන බවත් මේ වන විට යුක්තිය මෙහෙයුමෙන් රටේ විශාල වෙනසක් සිදු කර ඇතැයි ද කීය.

යුක්තිය මෙහෙයුමෙන් පාතාලය මත්කුඩු වැනසීමේදී නීතිඥවරු අතළොස්සක් එයට බාධා කරන බවත් කංජිපානි ඉම්රාන් සහ ගනේමුල්ල සංජීව මෙරටින් පැන්නුවේ කෙසේ දැයි ඒ අයගේ නීතිඥයන්ගෙන් අසා දැන ගත යුතු යැයි ද කීය. ඒ අයගේ නීතිඥයන් ඔවුන්ගේ වාහනවල දමාගෙන බෝට්ටුවලට දමා රටින් පැන්නූ හැටි මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පවසා ඇති බව ද ඇමැතිවරයා කියා සිටියේය.

අතුරුගිරියේ වෙඩි තැබීමේ සැකකරුවන්ගේ ප්‍රකාශ ගැනීම ජනමාධ්‍යයට දීම සම්බන්ධයෙන් තමන් සහ පොලිස්පතිවරයා අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තරයේ අවවාද කර ඇති බවත් නමුත් ඔහුට විරුද්ධව විනයානුකූල පියවර නොගන්නා බව ද කියා සිටියේය. ඒ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රියා කර ඇත්තේ ජනමාධ්‍යයෙන් බොහෝ පිරිස් පැමිණි අවස්ථාවේ නොකරම බැරි නිසා බව ද නැවත එවැන්නක් නොකිරීමට අවවාද කළ බව ද ඇමැතිවරයා කීය.

අයි.පී. දුමින්ද තමන් සමඟ කංජිපානි සිටින බවත් තමන්ට අවස්ථාව දෙනවානම් ලංකාවට ගෙනත් දිය හැකි බවට පළවන මාධ්‍ය කතා බොරු බවත් තමන් මේ අවස්ථාවේ හැකිනම් ලංකාවට කංජිපානි ඉම්රාන් රැගෙන එන ලෙස ඔහුට කියා සිටින බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන බව ද ඇමැතිවරයා කීය.

ක්ලබ් වසන්ත මැරුවේ මාකඳුරේ මධූෂ්ගෙන් මුදල් ගත් නිසාවත් ඩුබායිවලදී ඔවුන් පිරිස හසුකරදීම නිසා කියාවත් නිවැරැදි තොරතුරක් ලැබී නොමැති බවත් ක්ලබ් වසන්ත මැරෙන මොහොතේ අතේ සතේ නැතිව රට වටේටම ණය වී සිටි බවටත් තොරතුරු ලැබී ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

පාතාලය කුඩු මාෆියාවට කුමන දේශපාලනඥයෙකු හෝ සම්බන්ධයි යනුවෙන් තොරතුරු ඇතිනම් ඔහුද වහාම අත්අඩංගුවට ගන්නා බව ද කීය.

මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT