Wednesday, April 23, 2025
Home » දින 30ක් ඇතුළත කරච්චි නුවර අපරාධ 5000ක්

දින 30ක් ඇතුළත කරච්චි නුවර අපරාධ 5000ක්

by mahesh
July 19, 2024 1:00 am 0 comment

පාකිස්තානයේ නීතිය හා සාමය ඉතා බරපතළ ලෙස පිරිහෙමින් පවතින බවත්, පසුගිය ජූනි මාසයේදී කරච්චි නුවර පමණක් අපරාධ පන්දහසකට වඩා වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. සින්ද් ප්‍රාන්තයේ පුරවැසි පොලිස් සම්බන්ධතා කමිටුව විසින් පසුගිය මාසයේ අපරාධ තත්ත්වය පිළිබඳ නිකුත් කළ වාර්තාවකට අනුව එම මාසයේදී කරච්චි නුවර අපරාධ 5,288ක් සිදු වී ඇති අතර, ඉන් අපරාධ 2792ක්ම යතුරුපැදි සොරකම් කිරීම් බව පාකිස්තානයේ ජියෝ නිව්ස් පුවත් සේවය වාර්තා කළේය. ඒ අතුරින් යතුරු පැදි 564ක්ම පැහැරගෙන ඇත්තේ සාමාන්‍ය පුරවැසියන්ට අවිආයුධ පෙන්වා තර්ජනය කිරීමෙන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සොරකම් කරනු ලැබූ යතුරුපැදි 196ක් පොලිසිය විසින් නැවත සොයා ගනු ලැබූ බව ද වාර්තා වේ.

මීට අමතරව දින 30ක් පුරා නගරයේ විවිධ ප්‍රදේශවල වාහන 24ක් පැහැරගෙන ගොස් ඇතැයි ද, තවත් වාහන 135ක් සොරකම් කර ඇතැයි ද පුරවැසි පොලිස් සම්බන්ධතා කමිටු වාර්තාවෙන් පෙන්වා දී තිබේ. පොලිසියට ඉන් සොයා ගත හැකි වී ඇත්තේ වාහන 80ක් පමණක් බවත් වැඩිදුරටත් වාර්තා වේ. එම කාලය ඇතුළත කරච්චි නුවර සාමාන්‍ය ජනතාවගේ ජංගම දුරකතන 1433ක් සොරකමට ලක්වී ඇති අතර, ඒ අතුරින් පොලිසියට සොයාගත හැකි වී ඇත්තේ දුරකතන 18ක් පමණක් බව සඳහන් වේ. මීට අමතරව ජූනි මාසයේදී කරච්චි නුවර විවිධ ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, කප්පම් ගැනීමේ සිදුවීම් 6ක් වාර්තා වී ඇතැයි ද සින්ද් ප්‍රාන්ත පුරවැසි පොලිස් සම්බන්ධතා කමිටු වාර්තාවෙන් හෙළි වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT