මීගමුව කුඩාපාඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණියන්ට අයත් බව කියන වටිනා ජංගම දුරකතන ඇතුළු දේපොළ සොරකම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරවගතව සිටි සැකකරුවන් හත්දෙනෙකු පෙරේදා (16) දින දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කළේය. එක් සැකකරුවකුට රුපියල් ලක්ෂ පහ (5) බැගින් ශරීර ඇප දෙක බැගින් ලක්ෂ (70) හැත්තෑවක ශරීර ඇප නියම කර එක් සැකකරුවකුට එම කාන්තාවන්ට රුපියල් 15000 බැගින් ගෙවන ලෙස ද නියම කරන ලදි. සෑම මාසයකම තුන්වැනි ඉරුදින මීගමුව පොලිසියට වාර්තා කරන ලෙස ද සැකකරුවන්ට වැඩිදුරටත් නියම කළේය.
මෙලෙස මුදාහැරීමට නියෝග ලැබුවේ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ වයස අවුරුදු 18-30 අතර තරුණයන් 7 දෙනෙකි.
මෙම තරුණියන් තමන්ගේ ජංගම දුරකතන, බැංකු කාඩ්පත්, හැඳුනුම්පත්, තවත් වටිනා ලියකියවිලි තම අත්බෑගවල දමා මුහුදු තීරයේ තබා දිය නාමින් සිටියදී මෙම තරුණයන් විසින් අත්බෑග් සොරාගෙන පලාගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය. අත්බෑග් රැගෙන යන විට පැමිණිලිකාර කාන්තාවන්ගේ කෑගැසීම නිසා මුහුදු ආරක්ෂක නිලධාරින් ඇතුළු කණ්ඩායමක් මෙම අය අල්ලාගෙන පොලිසියට භාර දී තිබුණි. සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරාජ් ජයමාන්න මහතා පෙනී සිටි අතර, මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය පැමිණිල්ල මෙහෙයවන ලදි.
මෙම මස 26 වැනි දිනට නැවත නඩුව කල් තැබුණි.