ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ආවරණය වන පරිදි හඳුනාගත් පරිසර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් “ ග්‍රීන් ටීම්” (Green Team) පරිසර සමාජ 13ක් ලෙස ආරම්භ කර ඇත.
ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ මාසිකව ඒ ඒ ප්‍රදේශවල හඳුනාගත් පරිසර ගැටලු විසඳීම සඳහා පරිසර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම “ග්‍රීන් ටීම්” පරිසර සමාජය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ නිලධාරින් 20 දෙනකුගෙන් යුක්ත වන අතර, මේ සඳහා පරිසර සංවිධාන, ප්‍රජා සංවිධාන, පාසල් නියමු භට කණ්ඩායම් ඇතුළු පරිසරය සුරැකීමට උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්ව සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.
මෙම වැඩසටහනෙහි ආරම්භක වැඩසටහන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ වෙන් කරගත් භූමි ප්‍රමාණයක නාගරික වන උද්‍යානයක් නිර්මාණය කිරීම මෙම මාසයේදී සිදු කෙරේ. මේ යටතේ පැළ රෝපණය කිරීම, වෙරළ පිරිසිදු කිරීම, ප්ලාස්ටික් හා පොලිතින් ඉවත් කිරීම, කඩොලාන සංරක්ෂණය කිරීමේ වැඩසටහන් සෑම මසකම අවසන් සිකුරාදා දිනයේදී සිදු කිරීමට අපේක්ෂිතයි.
මාසිකව ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පරිසර වැඩසටහන් 13ක් සිදු කිරීමත්, ඒ සඳහා රාජ්‍ය නිලධාරින්, පාසල් පරිසර භට කණ්ඩායම්, පරිසර සංවිධාන, ප්‍රජා සංවිධාන හා පරිසරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්ව ඒකරාශී කර ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වීමත් මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වී ඇති බව දිසාපතිවරයා සඳහන් කළේය.