විවාහ වී දින 14ට පසුව නිව්මෝනියාව සෑදී මනාලියක් ඊයේ (17) අලුයම මිය ගොස් ඇතැයි අරණායක පොලිසිය පැවැසීය. මෙලෙස මිය ගොස් ඇත්තේ අරණායක පොලිස් වසමේ තවලංගොඩ ග්‍රාමයේ පදිංචිව සිටි උඩරට රාලලාගේ මහේෂිකා සරෝජනී කුමාරි නමැති 27 හැවිරිදි තරුණියකි.
මිය ගොස් ඇති තරුණිය පිළිමතලාව ගිරාගම ප්‍රදේශයේ උපන් තරුණියක් බවත් විවාහ යෝජනාවකට අනුව අරණායක තවලංගොඩ ග්‍රාමයේ පදිංචිව සිටින අම්බලකන්දේ තේ කර්මාන්ත ශාලාවක කම්කරුවකු ලෙස සේවය කරන 29 හැවිරිදි අධිකාරම් මුදියන්සේලාගේ සඳුන් නුවන් කුමාර නමැති තරුණයකු සමඟ ඉකුත් 03 වැනිදා විවාහ වී ඇති බවත් පොලිසිය පැවසීය. විවාහය ලියාපදිංචි කර මනාලිය අරණායක මනාලයාගේ නිවෙසට කැන්දාගෙන පැමිණ ඇති අතර ඉකුත් 09 වැනිදා උණ සෑදී අරණායක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මව පැමිණ බලහත්කාරයෙන් පිළිමතලාව ගිරාගම නිවෙසට රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. යළි 13 වැනිදා තරුණිය අරණායක තවලංගොඩ මනාලයාගේ නිවෙසට පැමිණ ඇති බවත් පෙරේදා (16) මනාලයා විසින් රාත්‍රී බත් කවා දෙදෙනා පසුව නින්දට වැටී ඇති බවත් පොලිසිය පැවැසීය. ඊයේ (17) වැනිදා අලුයම යළි අසනීප තත්ත්වයක් හට ගැනීමෙන් පසුව මනාලයා විසින් අසල්වැසි නිවෙසක කුඩා ලොරි රථයකින් තරුණිය අරණායක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. ඒ වනවිට ඇය මිය ගොස් ඇති බව අරණායක පොලිසිය පැවසීය.
මිය ගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (17) දහවල් කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිරංජලා කුලතුංග මහත්මිය විසින් සිදු කළාය. නිව්මෝනියාව උස්සන්න වීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට අරණායක හදිසි මරණ පරීක්ෂක එම්.ඒ. හේරත් බණ්ඩාර තීන්දු කෙරිණ.