Tuesday, April 22, 2025
Home » පරපීඩක දේශපාලනය පාසල් ඇවිදින්

පරපීඩක දේශපාලනය පාසල් ඇවිදින්

by Gayan Abeykoon
July 18, 2024 1:00 am 0 comment

‘දුකම කොයිතරම් සතුටක් දෝ’ යන තේමා පාඨය පෙරට ගෙන දේශපාලනයේ යෙදෙන කණ්ඩායමකින් මෙයිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය. ජනතාවගේ ඉණපටිය පසුගිය කාලයේ තද වූවා නොවේ. එය බලු දම්වැලක් බවට පත්වූවා කිවහොත් නිවැරදිය. එතරම් හිරවීමක ජනී ජනයා වාසය කළේය. අමාරු කාලය මාරු වූ කල්හි ජනතාවගේ සුඛ විහරණය සඳහා දැනෙන සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේය. දින දෙකකට පෙර ලයිට් බිල අඩු වූවේ හතරෙන් පංගුවකිනි.

22.5%කින් නොව 5%කින් බිලක් වැඩි වූයේ නම් විපක්ෂය වහාම පාරට බසින්නේය. විදුලි බිල අඩු වූ කල්හි හුම් නැත. කටට පිට්ටු දමා නොව ලාකඩ දමා සීල් තබා ඇති සේය. ජනතාවට ඒ ආකාරයට සහන ලැබෙන විට විපක්ෂයට කරන්ට් වදින්නේය.

මේ වනාහි අනෙකාගේ පෞරුෂය පීඩාවට පත් වනු බලා, සැනසීමේ රෝගය ය. මෙහි එක් අංශයක් වන්නේ පරපීඩක කාමුකත්වය. සිය සහකරු හෝ සහකාරියට වේදනාවක් ලබා දී, තෘප්තියක් ලබන කාණ්ඩයක් මේ මහ පොළොවේ සිටිති. එය ශාරීරික මෙන්ම මානසික වේදනාවක් ලෙස ලබාදීමෙන්, මේ පිරිස සැනසෙන්නේය. පරපීඩාවේ ලිංගික පැත්ත එසේය. අද මේ තීරුවේ අවධානයට පාත්‍ර වන්නේ එහි දේශපාලන පාර්ශ්වය පිළිබඳවය.

ජනතාවට සහන ලබාදෙන මොහොතක් පාසා පපුවට වොට් තුන්දාහ අල්ලන්නා සේ දැනෙන මේ රෝගය වත්මන් විපක්ෂයේ ‘ඇඟ පුරාම’ දුවන්නේය. සහනයක් ලබාදී ජනතා පීඩනය ඉවත ලෑමට ආණ්ඩුව පියවරගත් විට වෙනත් මාවතකින් ජනයා වෙත පීඩා ඇති කර මේ දනෝ, තුටු වෙත්. අද සාකච්ඡාවට බඳුන් වන්නේ ද එවන් කාරණයකි.

අධ්‍යාපනය සඳහා පවුලක් දරන වෑයම කෙටියෙන් පැහැදිලි කරන්නේ, නොකා නොබී හෝ දරුවන්ට උගන්වන්න යන ගේ දොර භාවිත වන කියමනෙනි. මේ ආකාරයට ශිල්ප රජයන දවසක් පැමිණෙන හෙයින් ගම් දරුවෝ ද වෙහෙස මහන්සි නොබලා ඉගෙනුමට යන්නාහ. ඒ ආකාරයෙන් අකුරු කරනා සුවහසක් දරු පරපුර වෙත ශිෂ්‍යත්ව ලබාදීම සඳහා ජනාධිපතිවරයා පියවර ගත්තේය. එහෙන් මෙහෙන්, ඇහින්දාස් දෙසීයක පිරිසක් සඳහා පවත්වන ‘ශිෂ්‍යත්ව සංදර්ශන’ නොව දූ පුත්තු, එක්ලක්ෂ දහසය දාහක් වෙත, පත පොත වියදම් වෙනුවෙන් දැනෙන, ගාස්තුවක් මේ යටතේ ලබා දෙන්නේය.

උසස් පෙළ දරුවෝ 6000ක් වෙනුවෙන් මාසයකට රුපියල් 6000ක් බැගින් අවුරුදු දෙකක් ද, 1 ශ්‍රේණියේ සිට සාමන්‍ය පෙළ දක්වා සිසුන් 100,000ක් වෙනුවෙන් මසකට රුපියල් 3000 බැගින් අවුරුද්දක් පුරා ද මෙම මුදල ලබාදේ. අමතර වශයෙන් පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් ද ශිෂ්‍යත්ව වෙන් කර ඇත්තේය. උසස් පෙළ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය හදාරන සිසු පිරිස වෙනුවෙන් වෙනම ශිෂ්‍යත්ව වැඩසටහනකි. සියල්ල සඳහා ජනාධිපති අරමුදල දරන වියදම රුපියල් මිලියන 5000කට අධිකය.

මේ වැඩසටහන අද සහ හෙට ආරම්භ වීමට නියමිතය. පපු කැවුතු හරහා හීයක් යන්නා සේ විපක්ෂයේ හදවත රිදුම් කන්නට පටන් ගත්තේ මේ ආරංචිය ලැබුණු සැණින්ය. පරපීඩක දේශපාලනයට එවැනි උත්තම දායකත්වයන් අරහංය.

විපක්ෂ නායක තෙමේ ස්මාට් බෝඩ් එකක් හෝ බසයක් ලබාදී පාසලේදී දේශපාලන කතාවක් පැවැත්වීම අවුලක් නැති වුවද, මේ ආකාරයට ආණ්ඩුව ශිෂ්‍යත්ව ලබාදීම වාවනු බැරි හෙයින්, අධ්‍යාපන වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ පිරිස දැන් වැඩ වර්ජනයක් සඳහා සැරසී ඇත්තේය. මේ පාසල් හි වාර විභාග සමය ය.

දරුවන් වෙත ශිෂ්‍යත්ව ලබාදීම කඩාකප්පල් කිරීම සඳහා වාර විභාග ආදිය ද කඩාකප්පල් කරමින් වර්ජන ව්‍යාපාරයක් පාසලේ ඇති කිරීමට, ලහිලහියේ මේ පිරිස ක්‍රියාත්මක වූහ. ඉගෙනුම සඵල කර ගැනීම සඳහා ආණ්ඩුව අනේක කැපකිරීම් සිදු කරන්නේය. අධ්‍යාපනය නම් ආයෝජනය නොහේ නම්, මේ රට බංකොලොත් වන්නේ ණය බේරා, රට බේරා ගත හැකි මට්ටමට නොවේ. එය සදාකාලික බුන්නත්භාවයක් වන්නේය.

එසේ හෙයින්, විදුලි බිල, ගෑස් මිල ආදිය ද දැනෙන ආකාරයෙන් පහත හෙළමින්, අධ්‍යාපනය සඳහා වන කිසිදු පිරිවැයක් ආණ්ඩුව කපා දැමුවේ නැත. විපක්ෂය සිය දේශපාලන බසය ලෙස පාසල් යොදා ගන්නේ හෙයින් ඒ ගමනට, අකුල් හෙළන මෙවන් ශිෂ්‍යත්ව වැඩසටහන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන විට, එය විපක්ෂයට පෙනී යන්නේ ද දේශපාලන ඇසිනි. සක්වළ වටා ගොස් බස් බෙදුවේ වුවද, මේ අකුල් හෙළීම හේතුවෙන් සිදු කර ගැනීමට නියමිත පාපකර්මය ගෙවී යන්නේ නැති බව පළමුව කිව යුතුය.  අනුන්ගේ ෆයිල් හොරකම් දොඩවමින් යන විපක්ෂය මේ ආකාරයට ස්මාට් බෝඩ් සහ බස් බෙදීම සඳහා තමන් වෙත මුදල් ලබාදෙන්නේ කවුදැයි තවම හෙළි කළේ නැත. එසේ සිදු කරමින් පාසල දේශපාලන වේදිකාවක් බවට පත් කරගෙන ඇත්තේය. අනෙක් අතට අධ්‍යාපනය කඩාකප්පල් කරමින්, ඇති කරන වර්ජන හමුවේ දරුවන් සහ මව්පියන් අසහනයට පත් කර ඇත්තේය.

මේ රටේ පාසල් පද්ධතිය අතිශයින් විධිමත් ආයතන රටාවකි. එය පහසුකම් ආදිය අඩු තත්ත්වයක් තුළ පවා, දැනුම ලබාදෙමින් දේශයේ මානව සම්පත ලෝකයේ ඇති අනගි බුද්ධිමය මාදිලියක් බවට පත් කළේය. සිය පරපීඩක දේශපාලනය මුලට ගෙන විපක්ෂය සහ එය බලයට ගෙන ඒමේ කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් ලබාදී ඇති යූනියන් කිහිපයක් බිමට සමතලා කිරීමට උත්සාහ කරනුයේ, ඒ මාහැඟි දායාදයය.

දහදාහක වැටුප් වර්ධකයක් නම් බෙරයක් හැමදාම වයමින් ස්ටාලින් සහ පිරිවර පාසල් අධ්‍යාපනය සඳහා අවසන් ගමන් කැඳවීමට යත්න දරන බව හුදී ජනයා හොඳින් දන්නේය. දැන් අංචි අදින්නේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ලබාදීමටය. මේ ආකාරයට යූනියන් කිහිපයකට මේ රටේ අධ්‍යාපනය සින්නක්කර ඔප්පුවකින් ලියා දීමට නොහැක්කේ, කන්නන්ගර ශ්‍රීමතාණෝ දැයේ දෑස් පාදනු වස් කළ අමිල මෙහෙවර පරපීඩක දේශපාලනයක් සඳහා බිලි දිය නොහැක්කේ බැවිනි.

“මම එය මහඟු මැණිකක් ලෙස හඳුන්වමි. ඔබ සතු සෑම දෙයක්ම විකුණා දමා හෝ සමස්ත ජාතියේම යහපත උදෙසා එය මිලදී ගන්න” යැයි එදා කන්නන්ගර ශ්‍රීමතාණන් ප්‍රකාශ කරන ලද්දේ අධ්‍යාපනය පිළිබඳවය. ඒ මහඟු මාණික්‍ය, මේ ආකාරයෙන් බාල්දු කිරීම සඳහා ඉඩ නොදෙන ලෙස මේ තීරුව දේශයෙන් ඉල්ලා සිටින්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT