Home » තල් කර්මාන්තකරුවන්ට 7%ක අවම පොලියට ණය දෙනවා

තල් කර්මාන්තකරුවන්ට 7%ක අවම පොලියට ණය දෙනවා

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ

by Gayan Abeykoon
July 18, 2024 1:30 am 0 comment

තල්ගස දෙවියන් ලබාදුන් ශාකයක් ලෙස උතුරේ ජනතාව විශ්වාස කරනු ලබයි. ශිව දෙවියන් හා සම්බන්ධ බැඳීමක් තල් ගසට වන බවට එම ජනතාව විශ්වාස කරන අතර, නිවෙසක ඉදිරිපස තල් ගසක් වේ නම් එය එම නිවෙසට වාසනාව ගෙන එන බව උතුරේ ජනතාව පවසති. තල් ගසක් කැපීම ඔවුන්ට දෙවියන් තරහ කර ගැනීමකි. උතුරේ ජනතාවගේ විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවනාලිය වන්නේ ද තල් ගසයි. දකුණේ ජනතාවට ‘කප්රුක’ පොල් ගස මෙන් උතුරේ ජනතාවගේ කප්රුක වන්නේ තල් ගසයි. උතුරේ ‘කප්රුක’ කර්මාන්තයක් ලෙස සංවර්ධනය කර එය විනිමය සපයන කර්මාන්තයක් ලෙස දියුණු කරන්නට මෙන්ම අනෙකුත් පළාත්වලත් මෙම කර්මාන්තය ව්‍යාප්ත කරන්නට සැලසුම් කරන තල් සංවර්ධන මණ්ඩලය පිළිබඳව එහි සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා දක්වන අදහස් මෙසේ වෙයි.

 

ශ්‍රී ලංකාවේ තල් කර්මාන්ත ක්ෂේත්‍රයේදී තල් සංවර්ධන මණ්ඩලයේ කාර්යභාරය?

තල් උයන් පිළිබඳව මහා පරාක්‍රමබාහු රජ සමයේ සිටම වාර්තා වෙනවා. එතරම් ඉපැරණි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ තල් වගාව සුරකින්නට, එයින් ජන ජීවිතය ගොඩනංවන්නට, දේශීය ආර්ථිකය සුරකින්නට 1978 දී ආරම්භ වන්නේ තල් සංවර්ධන මණ්ඩලයයි.

දළ දේශීය නිෂ්පාදනය වෙත සුවිශේෂී දායකයකු දායාද කිරීම සඳහා තල් කර්මාන්ත සංවර්ධනය ප්‍රවර්ධනය, ප්‍රචලිත කිරීම මෙන්ම නියාමනය ද තල් සංවර්ධන මණ්ඩලයේ මෙහෙවර අතර වෙනවා. තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන ක්‍රියාකාරකම් අතර තල් වගාව දියුණු කිරීම, යථාවත් කිරීම, හස්ත කර්මාන්ත පුහුණු වැඩසටහන් සංවිධානය, තල් ආශ්‍රිත විවිධ භාණ්ඩ නිපදවීම, තල් නිපැයුම් ප්‍රවර්ධනය,

‘කට්පහම්’ අලෙවිසල් පවත්වාගෙන යාම සුවිශේෂ වනවා?

තල් හකුරු, පැණි, සූකිරි, බෝතල් කළ රා, අරක්කු, විනාකිරි, පිනාටු, ජෑම්, කෝඩියල්, පිළියෙළ කළ පාන වර්ග, නැවුම් සහ වියළි තල් අල, තල් පිටි, විස්කෝතු වැනි ආහාර තල් ආශ්‍රිතව නිෂ්පාදනය වන ආහාරපාන වර්ගයි. තල් කොළ ආශ්‍රිතව සාම්ප්‍රදායික අත්කම් භාණ්ඩ රැසක් නිර්මාණය වන අතර, තොප්පි, පැදුරු, තල් ඉරටු නිෂ්පාදන, කොසු, මල්පෝච්චි, විසිතුරු භාණ්ඩ, බිත්ති සැරසිලි ආදියත්, තල් කෙඳි ආශ්‍රිතව පවිත්‍රතා බුරුසු වර්ග ඇතුළු තල් ගස ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය වෙනවා.

 

 තල් කර්මාන්තය උතුරට පමණක් සීමා වූ කර්මාන්තයක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ ?

 

තල් වගාව මෙන්ම ඒ ආශ්‍රිත කර්මාන්ත උතුරට පමණක් සීමාවූවක් නොවේ. ඇත්තටම එය ‘තල් රුප්පාවෙන් පොල් රුප්පාවට’ විහිදුණු කර්මාන්තයක්. උතුරේදී තල් ගස ආදායම් මාර්ගයක් වගේම වන්දනීය ශාකයක්. යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව් වගේම වයඹ පළාතේ පුත්තලමේත්, දකුණේ හම්බන්තොට ප්‍රදේශයේත් තල් වගාව මෙන්ම ඒ ආශ්‍රිත කර්මාන්ත විශාල වශයෙන් තිබෙනවා.

තිස් වසරක් පුරා පැවැති යුද්ධය හේතුවෙන් උතුරේ තල් වගාව විනාශ වුණා. ඒ අඩුව සපුරාලන්නට අපි සෑම වසරකම එම ප්‍රදේශවල තල් වගා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. නාවික හමුදාවේ සහාය ඇතිව තල් සංවර්ධන මණ්ඩලය මඟින් තල් ගස් ලක්ෂයක් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. උතුරට පමණක් සීමා වූ තල් කර්මාන්තය දකුණේ මෙන්ම වයඹ ප්‍රදේශ වෙත රැගෙන යාමේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා‌ අප වෙත ලබා දුන් උපදෙස් හා මග පෙන්වීම සුවිශේෂයි. මේ කර්මාන්තය තුළින් දෙස් විදෙස් ආදායම් ඉපැයීමේ නව දැක්මක් එතුමා සතු වෙනවා.

 

 තල් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව විග්‍රහ කළොත්?

 

තල් ගස් වගාව මෙන්ම තල් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන, තල් ආශ්‍රිත නිෂ්පාදනවලට අගය එකතු කිරීම, තල් කර්මාන්තය සිදු කෙරෙන ප්‍රදේශවල කාන්තාවන් මෙන්ම ප්‍රජාව ඒ සඳහා උනන්දු කරවීම, තල් ආශ්‍රිත අත්කම් නිර්මාණ මෙන්ම එයට වෙළෙඳපොළ හඳුන්වාදීම විශේෂයෙන් තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සඳහා යොමු කිරීම තල් සංවර්ධන මණ්ඩලය ප්‍රධාන කාර්යයන් කීපයක්.

බොහෝ විට උතුරට පමණක් සීමාවෙලා තිබුණු තල් නිෂ්පාදන අලෙවිය අද දකුණට විතැන් කර තිබෙනවා. වැල්ලවත්ත කට්පහම් අලෙවිසල එයට හොඳම නිදසුනක්. තල් ආශ්‍රිත ආහාර වර්ග, භාණ්ඩ ඕනෑම දෙයක් එම අලෙවිසලේ තිබෙනවා. 2020 වසරින් පසු කොළඹ මෙම මධ්‍යස්ථානය මෙන්ම මහනුවර ද අලෙවිසලක් ආරම්භ කළා. හම්බන්තොටදීත් එවැනි අලෙවි මධ්‍යස්ථානයක් සංවර්ධනය කරමින් තිබෙනවා.

පරිසර හිතකාමී තල් අත්කම් භාණ්ඩ, ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් අප ආයතනය මඟින් ආරම්භ කර තිබෙනවා. ඒ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල භාවිත කරන බොහෝ ප්ලාස්ටික් උපකරණ වෙනුවට (උදාහරණ – කුණු කූඩ ආදිය) තල් පත් යොදාගෙන නිපදවූ උපකරණ ඉතා අඩු මිලකට හඳුන්වාදීම අප සිදුකරනවා. ඒ නිෂ්පාදන අලෙවියෙන් ලැබෙන මුදල් හිමිවන්නේ උතුරේ සහ දකුණේ තල් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන අහිංසක ජනතාවටයි.

 අපේ තල් නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ ජයගෙන තිබෙන්නේ කෙසේ ද?

 

ඇත්තටම මෙහිදී කතාබහට ලක්වන මුල්ම නිෂ්පාදනය වන්නේ ශ්‍රී ලංකාවේ තල් රා. එය දේශීයවත් විදේශීයවත් ඉතාමත් ප්‍රසිද්ධයි. යාපනයේ ගිය දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනා විමසන්නේ ‘උතුරේ තල් රා’ පිළිබඳවයි. අපි මෙතෙක් කල් අසා තිබුණේ දැක තිබුණේ සාමාන්‍යයෙන් එක දවසක් කල් තබා ගත හැකි තල් රා බෝතල් පමණයි. නමුත් අපේ තල් පර්යේෂණ ආයතනය මඟින් සිදුකළ පර්යේෂණයන් තුළින් අපට හැකියාව ලැබුණා වසරක කාලයක් තබාගත හැකි තල් රා බෝතල් නිෂ්පාදනය කරන්න.

අපට උතුරේදී දකින්නට ලැබෙන සාම්ප්‍රදායික බෝතල් ඇසුරුමෙන් තොරව නිසි ප්‍රමිතියකින් යුතු අතිපිරිසිදු බෝතල් ඇසුරුමකින් යුතු, ගුණදායී ප්‍රණීත මෙම තල් රා නිෂ්පාදන අප වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඒවාගේම ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, බහරේනය, කැනඩාව ඇතුළු රටවල් කීපයකට ශ්‍රී ලංකාවේ තල් රා -, අරක්කු අපනයනය කෙරෙනවා. අද කැනඩාවේ වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ තල් රා බෝතලයක් කැනේඩියානු ඩොලර් 10 – 15 අතර මිලකට අලෙවි වෙනවා.

 

 ශ්‍රී ලංකාවේ තල් කර්මාන්තය ඉදිරි සියවසට ගැළපෙන පරිදි සකස් කිරීමට ගෙන ඇති පියවර?

 

තල් කර්මාන්තයේ පමණක් නොවෙයි පොල්, කිතුල් කර්මාන්තවලත් අද තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ගස් නැඟීමට පුද්ගලයන් නැතිකම. පියා තල්ගස් මැදීම කළත් පුතා ඒ දේට කැමති නෑ. එයට හේතුව ‘ගස් නඟින්නා’ට වෘත්තිමය පිළිගැනීමක් අප සමාජයේ නොමැතිකම. වෘත්තියක් කියන්නෙ මුදල්ම නොවේ. එම වෘත්තියට සමාජයේ ගෞරවයක්, පිළිගැනීමක් තිබිය යුතුයි. මේ දේවල්වල සංකලනයක් වෘත්තියකට පිළිගැනීමක් ලබා දෙනවා.

මේ නිසා අප NAITA ආයතනයත් සමඟ එකතු වී තල්ගස් නඟින පුද්ගලයන්ට වෘත්තීය පුහුණුවක් ලබා දී NVQ-3 මට්ටමේ සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. මෙය දීපව්‍යාප්තව සිදුකරගෙන යනවා. ඒ වගේම තල්ගස් නඟින පුද්ගලයන් ව්‍යවසායකයන් බවට පත්කරන වැඩපිළිවෙළක් ද තල් සංවර්ධන මණ්ඩලය ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා අපට ලංකා බැංකුව සහයෝගය ලබා දෙනවා. NVQ-3 සහතිකය ගත් මෙම කර්මාන්තකරුවන්ට 7%ක අවම පොලියක් යටතේ රුපියල් ලක්ෂ 05ක් දක්වා ණය ලබා දෙනවා. මේ මඟින් ඔවුන්ට තම කර්මාන්තය අනාගතයට ගැළපෙන පරිදි දියුණු කර ගත හැකියි.

මේ කර්මාන්තය ඉදිරියට ගෙන යන්න නම් කාන්තාවන්ගේ දායකත්වය වැඩි කළ යුතු වෙනවා. තල් අත්කම් භාණ්ඩ නිෂ්පාදනයට වැඩිම දායකත්වය ලබා දෙන්නේ කාන්තාවන්. උතුර, නැඟෙනහිර, පුත්තලම, හම්බන්තොට වගේම ගල්ගමුවේත් ඔවුන් අත්කම් භාණ්ඩ සාර්ථකව නිපදවනවා. තල්ගස් මදින කාන්තාවන්ට ද තල්ගස් නැඟීම පිළිබඳව ක්‍රමවත් වෘත්තීය පුහුණුවක් ලබාදීමට අප පියවර ගත්තා. මේ පළමු කණ්ඩායම මන්නාරමේ කාන්තාවන් 30 දෙනෙකුගෙන් සමන්විත වනවා. ඔවුන්ට ළඟදීම NVQ-3 මට්ටමේ සහතිකයක් ද ලබාදීමට නියමිතයි.

 

 තල් නිෂ්පාදන අලෙවියෙන් පසුගිය වසරවල ලැබූ ආදායම කෙබඳුද?

 

පසුගිය වර්ෂයේදී (2023) තල් සංවර්ධන මණ්ඩලය රුපියල් මිලියන 65ක් ඉක්මවූ දේශීය අලෙවි ආදායමක් උපයා තිබෙනවා. තල් සංවර්ධන මණ්ඩලය 2022 වර්ෂයේදී උපයා ඇති දේශීය අලෙවි ආදායම මිලියන 50.05ක්. 2022 වර්ෂයට සමගාමීව 2023 වර්ෂයේ දේශීය අලෙවි ආදායමේ වර්ධනය මිලියන 15ක්. 2020 වර්ෂයේ දේශීය අලෙවි ආදායම මිලියන 30.28ක්. 2021 වර්ෂයේ දේශීය අලෙවි ආදායම මිලියන 33.33ක් වුණා.

මෙයින් මිලියන 18.8ක්‌ කොළඹ වැල්ලවත්ත කට්පහම් අලෙවි මධ්‍යස්ථානයෙන්ද, මිලියන 18.5ක්‌ නැල්ලුර් කට්පහම් මධ්‍යස්ථානයෙන්ද රුපියල් මිලියන 6.8ක්‌ නුවර කට්පහම් මධ්‍යස්ථානයෙන්ද උපයාගෙන තිබෙනවා.

තල් සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 0.182ක අපනයන ආදායමක්(රුපියල් 57,837,751.98) උපයා දී තිබෙනවා. මෙයින් තල් රා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 0.102ක්‌ද, (රුපියල් 32,283,881.98ක්) ඕඩියල් අපනයනයෙන් අමරිකානු ඩොලර් මිලියන 0.04ක්‌ද( රුපියල් 13,697,710.00 ක්‌), ශ්‍රීලංකාවට හිමිවුණා. මේ අපනයන ආදායම් ඉලක්ක සපුරාලීමට අපනයනකරුවන්ගෙන් ලැබුණු දායකත්වය අගයමින් පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අපනයනකරුවන්ගේ විශේෂ හමුවක්ද සංවිධානය කළා.

ලොව එකම තල් පර්යේෂණ ආයතනය සතුවන්නේ ශ්‍රී ලංකාවේ. එහි කටයුතු පැහැදිලි කළොත්?

ඔව්, එය අප රටට ආඩම්බරයක්. යාපනයේ කයිතඩ්හි තල් පර්යේෂණ ආයතනය සතුව නවීන තාක්ෂණයෙන් යුතු රසායනාගාර 05ක් තිබෙනවා. තල් ආශ්‍රිත සියලුම පර්යේෂණ සිදුකරන්නෙ එතැනයි. මෙම ආයතනය අන්තර්ජාතික වශයෙන් පිළිගත් ISO සහතිකය ලබා ගත් පර්යේෂණ ආයතනයක්.

යාපනය, සබරගමුව, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල මෙම පර්යේෂණ ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මේ විශ්වවිද්‍යාලවල දරුවන් තල් පර්යේෂණ ආයතනයට පැමිණිලා ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා ගන්නවා. තල් පර්යේෂණ ආයතනය ආදායම් උපයන ආයතනයක් බවට පත් කර තිබෙනවා. මෙමගින් ව්‍යවසායකයන්ට පර්යේෂණ සිදුකර දෙනවා. තල් ආශ්‍රිත නිෂ්පාදනයන් අපනයනකරුවන්ට රස පරීක්ෂණ වාර්තා ලබා ගන්නට අද කොළඹට පැමිණීමට අවශ්‍ය නෑ. එම වාර්තාව වෙනුවට තල් පර්යේෂණ ආයතනය ලබා දෙන සහතිකය මත අදාළ නිෂ්පාදන අපනයනය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර තිබෙනවා.

 

 තල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමනට ඔබ අත්වැල් සපයන්නේ කෙසේද?

 

මා 2019 දී තල් පර්යේෂණ ආයතනය භාර ගන්න අවස්ථාවේදී එහි පාඩුව රුපියල් මිලියන 78ක්. පසුගිය වසර 05 තුළ මට හැකියාව ලැබුණා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් එම පාඩුව රුපියල් මිලියන 20 දක්වා අවම කර ගන්නට. ඒ අතර අපි ආරම්භ කළ තික්තම් ව්‍යාපෘතිය මඟින් වසර 32ක් වසා දමා තිබූ තල් ස්කාගාරය යළිත් ආරම්භ වනවා. දැන් එහි යන්ත්‍ර සවිකිරීමටයි සූදානම් වන්නේ. දිනකට රා සහ අරක්කු බෝතල් 4000ක් මෙම ස්කාගාරයේ නිෂ්පාදනය කරන්න පුළුවන්. පෞද්ගලික හා රාජ්‍ය අංශය එකතු වී මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. එමගින් තල් සංවර්ධන මණ්ඩලය දිනකට අපේක්ෂා කරන ආදායම රුපියල් ලක්ෂ 04ක්. ඒ වගේ දවස් 25ක් අපි වැඩ කළොත් ආදායම රුපියල් ලක්ෂ 100ක්.

මේ වැඩපිළිවෙළ සාර්ථක වීමත් සමඟ අපි පසු කළ දුෂ්කර කාලය ගෙවී ගොස් තල් සංවර්ධන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් වේවි. මේ සඳහා මාත් මගේ නිලධාරින් ඇතුළු සේවක සේවිකාවන් කැපවීම් රැසක් කළා. ඇතැම් අවස්ථාවලදී අතිකාල දීමනා පවා ලබා ගත්තේ නෑ. මේ කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේදී තල් සංවර්ධන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්වනවා නිසැකයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT