Wednesday, April 23, 2025
Home » අභියෝග අධ්‍යයනය කරමින් දවසින් දවස ජීවිතයට මුහුණ දෙනවා

අභියෝග අධ්‍යයනය කරමින් දවසින් දවස ජීවිතයට මුහුණ දෙනවා

-නායකත්වයෙන් ඉල්ලා අස් වූ වනිඳු කියයි

by sachintha
July 17, 2024 1:51 am 0 comment

“මා මේ දිනවල ගත කරන කාලය ඕනෑම කෙනකුට විය හැකි දෙයක්. ඕනෑම ක්‍රීඩකයකුට වෙන්න පුළුවන් වගේම ඕනෑම මනුෂ්‍යකුටත් වෙන්න පුළුවන්. මට විශාල අභියෝග එනවා. ක්‍රීඩකයකු විදිහට පිටින් එන කරදර බාධක වගේ දේවල් ක්‍රීඩාවට බාධාවක් නොවෙන්න පාලනය කර ගත යුතුයි. මම දන්නවා මා ක්‍රීඩාවට කරපු දේවල්. ක්‍රීඩක‍ෙයක් විදිහට ඉදිරියටත් කළ හැකි දේ උපරිම කරනවා. අභියෝග සියල්ල අධ්‍යයනය කරමින් දවසින් දවස ජීවිතයට මුහුණ දෙනවා” වනිඳු හසරංග පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති එල්පීඑල් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයට මුහුණදීමෙන් අනතුරුවය. විස්සයි20 ලෝක කුසලාන පරාජයෙන් පසු ඔහුගේ නායකත්වයට ප්‍රබල විවේචන එල්ල වෙමින් තිබියදී ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්වීම කාගේත් කතාබහට ලක්විය.

කැන්ඩි ෆැල්කන්ස් – දඹුල්ල සික්සර්ස් සමඟ මූලික වටයේ අවසන් තරගයෙන් වනිඳුගේ කණ්ඩායම ලකුණු 54ක ජයක් ලබා ගත්තද, තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට පිවිසීමට නම් ඊයේ පැවති දඹුල්ල සික්සර්ස් හා කළම්බු ස්ට්‍රයිකර්ස් අතර තරගයේ ප්‍රතිඵලය දෙස බලා සිටීමට සිදු විය.

“අපේ කණ්ඩායම හොඳ අත්දැකීම් බහුල කණ්ඩායමක්. දක්ෂ ක්‍රීඩකයන් සිටිනවා. එකම වෙනස පසුගිය ශූර කණ්ඩායමට මේ අවුරුද්දේ අයිතිකරුවෙක් නැති එකයි. ඒක කනගාටුවට කරුණක්. මොකද අපි එල්පීඑල් වෙන්දේසියට යද්දී කණ්ඩායමට අයිතිකරුවෙක් සිටියා. ඔහු සමඟ කතා කරලා ක්‍රීඩකයන් අවශ්‍ය විදිහට තෝරා ගත්තේ. නමුත් පසුව අයිතිකරු නැතිව අපට යන්න වුණා” හසරංග පැවසීය.

“ප්‍රේමදාස පිටියේ තණතිල්ල පිළිබඳ කියන්න අමාරුයි. එකම තණතිල්ලක මේ දින ටිකේම බැට් කළේ. වැස්ස නිසා තණතිලි හදන්න අමාරු නිසා තරග 4ක් එකම තණතිල්ලක පැවැත්වුණා. තණතිල්ල ලෙහෙසියි කියන්න බෑ. හොඳින් පන්දුවට පහරදීම නිසා වාසියක් ගත්තා. මේ තණතිල්ල දඟ පන්දුවට හොඳයි. දුෂාන් හේමන්ත පන්දු යවද්දී අපි දැක්කා පිතිකරුවන් අමාරුවෙන් බැට් කළ ආකාරය” වනිඳු හසරංග සඳහන් කළේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT