ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ වත්මන් ශූර කැන්ඩි ෆැල්කන්ස් පිල අවසන් කණ්ඩායම් 4ට පැමිණීමට නම් ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ දඹුල්ල සික්සර්ස් හා කළම්බු ස්ට්‍රයිකර්ස් අතර තරගයේ ප්‍රතිඵලය දෙස කැන්ඩි නායක වනිඳු හසරංගට බලා සිටීමට සිදුව තිබිණි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති දඹුල්ල සික්සර්ස් සමඟ තරගයෙන් වනිඳුගේ කණ්ඩායම ලකුණු 54ක දැවැන්ත ජයක් ලබා ගත්තද ප්‍රසාද ලකුණු සටහන අනුව ඊයේ පැවැත්වෙන තරගයේදී දඹුල්ල සික්සර්ස් පිල විශාල ලකුණු පරතරයකින් ජයගතහොත් වනිඳු ඇතුළු කණ්ඩායම මෙවර එල්පීඑල් තරගාවලියෙන් ඉවතට විසිවී යනු ඇත.
දඹුල්ල පරාජය වුවහොත් කැන්ඩි ෆැල්කන්ස් පිල අවසන් කණ්ඩායම් 4ට පැමිණීමේ අවස්ථා උදා වන බැවින් ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ අවසන් තරගය ඉතාම තීරණාත්මක එකක් බවට පත්ව තිබේ.
පෙරේදා තරගයේදී දඹුල්ල සික්සර්ස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කැන්ඩි ෆැල්කන්ස් පිලට ආරධනා කළ හෙයින් ඕවර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 222ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය විය. ආරම්භක පිතිකරු කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි ෆ්ලෙචර් පන්දු 34කදී හයේ පහර 7ක් හා හතරේ පහරක් සමග ලකුණු 60ක් ලබාගත් අතර, කමිඳු මෙන්ඩිස් පන්දු 24කදී හයේ 2ක් හා හතරේ 5ක් සමඟ නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී කඩුලු 4ක් බිඳහෙළා දස්කම් දැක්වූ වනිඳු හසරංග පන්දු 12කදී හතරේ 5ක් සමඟ වේගවත් ලකුණු 25ක් ලැබූ අතර, ඇන්ජලෝ මැතිව්ස් පන්දු 23කදී හතරේ 5ක් සමඟ නොදැවී ලකුණු 44ක් ලබා ගත්තේය. දඟ පන්දුවට හිතකර වූ ප්‍රෙමදාස තණතිල්ලේ දුෂාන් හේමන්ත ලකුණු 12කට කඩුලු 3ක් බිඳහෙලීය.
දඹුල්ල සික්සර්ස් පිලේ පළමු කඩුලු තුන ලකුණු 47කදී දවා ගැනීමට කැන්ඩි පිල සමත්වීමෙන් ආරමභයේදීම වාසි අත්කර ගත්තේය. කුසල් පෙරේරා පන්දු 40කදී හයේ 5ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 74ක් ලබා හුදකලා සටනක නිරත වුවද අනෙක් පිතිකරුවන් අඩු ලකුණුවලට දවා ගැනීමට දසුන් ශානක හා වනිඳු හසරංග සමත් වූහ.
කැන්ඩි ෆැල්කන්ස් කඩුලු 4කට ලකුණු 222 (ඕවර 20)
ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 60, කමිඳු මෙන්ඩිස් නොදැවී 51, වනිඳු හසරංග 25, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 44 (දුෂාන් හේමන්ත 12/3)
දඹුල්ල සික්සර්ස් කඩුලු 9කට ලකුණු 168 (ඕවර 20)
කුසල් පෙරේරා 74, මාර්ක් චැප්මන් 24 (දසුන් ශානක 29/3, වනිඳු හසරංග 35/4)
කළම්බු ස්ට්‍රයිකර්ස් අවසන් 4ට
පෙරේදා විදුලි ආලෝක ධාරා මැද පැවති තරගයෙන් ජයගත් කළම්බු ස්ට්‍රයිකර්ස් පිල ප්‍රසාද ලකුණු 8ක් ලැබූ හෙයින් එල්පීඑල් අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලබා ගත්තේය. ගාල්ල මාවලර්ස් පිල කඩුලු 7කින් පැරදවීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කළම්බු ස්ට්‍රයිකර්ස් ඊයේ සමත් විය.
ගාල්ල මාවලර්ස් සියලු දෙනා දැවී ලකුණු 138 (ඕවර 19.5)
ටිම් සෙයිෆර්ට් 44, භානුක රාජපක්ෂ 35 (දුනිත් වෙල්ලාලගේ 30/2, ශදාබ් ඛාන් 20/2, මතීෂ පතිරණ 20/4)
කළම්බු ස්ට්‍රයිකර්ස් කඩුලු 3කට ලකුණු 142 (ඕවර 18.2)
රහ්මනුල්ලා ගුරුබාස් 23, මුහමඩ් වසීම් 50, ග්ලේන් පිලිප්ස් නොදැවී 31, සධීර සමරවික්‍රම නොදැවී 15
ප්‍රින්ස් ගුණසේකර