Home » යතුරුපැදි 2ක් සොරකම් කළාට තරුණයෙක් අත්අඩංගුවට

යතුරුපැදි 2ක් සොරකම් කළාට තරුණයෙක් අත්අඩංගුවට

by sachintha
July 17, 2024 1:25 am 0 comment

කෑගල්ල නගරයේදී යතුරුපැදි දෙකක් සොරකම් කිරීම හා සොරකම් කිරීමට යොදා ගත් යතුරුපැදිය සමඟ සැකකරුවෙක් පෙරේදා (15) කෑගල්ල නගරයේ දී අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පරගම්මන ප්‍රදේශයේ ගරාජයක සේවය කරන පරගම්මන දෙවෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටින 25 හැවිරිදි තරුණයෙකි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ගරාජයක සේවය කරන බවත් ඉකුත් 06 වැනිදා කෑගල්ල මහ රෝහලේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහයකවරයෙකුට අයිති රුපියල් දෙලක්ෂ අසූදහසක් වටිනා යතුරුපැදිය කෑගල්ල මහ රෝහලේ පිටුපස දමා තිබියදී සොයාගෙන කෑගල්ල බෙරගල හන්දියේ දී කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් 60,000ට අලෙවි කර ඇති බව පොලිසිය පැවසීය. මිලට ගත් පුද්ගලයා යතුරුපැදියේ වර්ණය වෙනස් කර පාවිච්චි කර ඇති බවත් පොලිසිය පැවසීය.

යළි සැකකරු 12 වැනිදා කෑගල්ල නගරයේ ප්‍රධාන වෙළෙඳසලක ගාල්කර තිබුණු රුපියල් හාරලක්ෂ හැටදහසක් වටිනා යතුරුපැදියක් සොරකම් කරගෙන ගොස් පූගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට වරකාපොළ නගරයේදී රුපියල් 55,000ට අලෙවි කර ඇති බවත් පොලිසිය පැවසීය.

යතුරුපැදි හිමිකරුවන් කෑගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදු කරමින් තිබුණි. පෙරේදා (15) සැකකරු හා යතුරුපැදි සොරකම් කිරීමට සහාය දක්වා ඇතැයි කියන තරුණයෙක් සමඟ කෑගල්ලේ සිට මාවනැල්ල දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ දී යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය. එහිදී එක් සැකකරුවෙකු පලා ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත සොරකම් කර අලෙවි කර තිබුණු යතුරුපැදි දෙක පූගොඩ ප්‍රදේශයේදී හා කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් බවත් යතුරුපැදි දෙක සමඟ සැකකරු ඊයේ (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර රණසිංහ, උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන සම්පත් (64324) චමින්ද (70133) පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (77178), නිමන්ත (85049), විජයන්ත (87038) යන නිලධාරින් සැකකරු හා යතුරුපැදි අත්අඩංගුවට ගෙන තිබුණි.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT