Home » වතු ආශ්‍රිත පාසල්වල ඉඩම් අයිතිය ගැන සුබ පණිවිඩයක්

වතු ආශ්‍රිත පාසල්වල ඉඩම් අයිතිය ගැන සුබ පණිවිඩයක්

by chanaka
July 17, 2024 12:43 pm 0 comment

මෙරට වතු ආශ්‍රිත පාසල් පිහිටා ඇති ඉඩම් වල අයිතිය එම පාසල්වලටම පවරාදීමේ වැඩපිළිවෙල පිළිබඳ මලයියාග වැවිලි ප්‍රජා‍වේ විකාශය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි. ඒ එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (10) රැස්වූ අවස්ථාවේදීය.

මෙම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඇල්කඩුව වැවිළි සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ වතු ආශ්‍රිත පාසල් පිහිටා ඇති ඉඩම් එම පාසල්වලට පවරාදීමේ වැඩපිළිවෙල සංසදයේ මැදිහත්වීමෙන් මේ වනවිට සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බවයි. ලංකාවේ වතු ආශ්‍රිත පාසල් ප්‍රමාණය, එම පාසල් සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය සහ යම් විශේෂිත ඉඩම් අවශ්‍යතා ඇති පාසල් තිබේ නම් ඒවා සංඛ්‍යාව ආදි දත්ත අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු එක්ව එළඹෙන සතිය වනවිට සම්පූර්ණ කිරීමට සහ එකී දත්තවල නිවැරදිතාවය තහවුරු කර ගැනීමට මෙහිදී එකඟතාවය හිමි විය. අනතුරුව අදාළ ඉඩම් මැණීමේ කටයුතු ආරම්භ කළ හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

වතු ආශ්‍රිත පාසල් සඳහා ලබා දෙන ඉඩමක ප්‍රමාණය උපරිම අක්කර 02ක් බවට ලබාදී ඇති කැබිනට් තීරණය වෙනස් කොට ඒ ඒ පාසල් සඳහා අවශ්‍යතාවය මත ඉඩම් ප්‍රමාණ ලබා දීමට හැකිවන පරිදි නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එයට අමතරව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ණය ආධාර මත මෙරට වතු ආශ්‍රිත පාසල් සඳහා සුහුරු පන්ති කාමර (Smart Classrooms) 60ක් ලබාදීම මෙන්ම එම ආධාර යටතේ සුහුරු රූපවාහිනී යන්ත්‍ර (Smart TV) සහ සුහුරු පුවරු (Smart Board) 800ක් ලබා දීම පිළිබඳවද නිලධාරින් විසින් කරුණු පැහැදිලි කරන ලදී.

එමෙන්ම වතු ආශ්‍රිත පාසල් වල පවතින ගුරු හිගය, ගණිත සහ විද්‍යා අංශයන්ගෙන් උසස් පෙළ හැදෑරිය හැකි පාසල් නොමැතිවීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීමට විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු සුජිත් සංජය පෙරේරා,  ජේ. සී. අලවතුවල, අශෝක් අබේසිංහ,  සෙල්වරාජා කජේන්ද්‍රන්, රෝහිණි විජේරත්න සහ වී. රාධක්‍රිෂ්ණන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT