Home » අනුරපුර පුදබිමේ වෙස්සගිරිය ඉසුරුමුණියේම කොටසක් බවට සාක්ෂි ලැබී තිබෙනවා
වෙස්සගිරිය ‘උරුම උද්‍යානයක්’ වෙයි

අනුරපුර පුදබිමේ වෙස්සගිරිය ඉසුරුමුණියේම කොටසක් බවට සාක්ෂි ලැබී තිබෙනවා

-පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මෙන්ඩිස්

by sachintha
July 17, 2024 1:55 am 0 comment

අනුරාධපුර පූජා නගරයේ පිහිටි ‘වෙස්සගිරිය’ වර්තමාන ඉසුරුමුණියේම කොටසක් බවට සාක්ෂි ලැබී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මෙන්ඩිස් මහතා පැවසීය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ සංස්කෘතික කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (14) වෙස්සගිරිය ‘උරුම උද්‍යානයක්’ ලෙස එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම සහ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේදීය. වෙස්සගිරිය පුදබිමේ ඉදිරි, සංරක්ෂණ සිදු කරන අතර තොරතුරු මධ්‍යස්ථානයක් මෙන්ම සංචාරක කර්මාන්තයට ඉවහල් වන පරිදි අලංකාර ලෙස මේ ස්ථානය සකස් කිරීමටද නියමිතය.

මෙහිදී තවදුරටත් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා මෙසේද පැවසීය:

“වෛශ්‍ය කුලයේ භික්ෂූන් පන්සීයක් මෙහි වැඩ සිටි බවට මූලාශ්‍රයන් මඟින් හෙළි වී තිබෙනවා. 2006 වසරේ ජේතවන ව්‍යාපෘතිය මඟින් මෙහි කළ කැණීම්වලදී මධ්‍ය ශිලා යුගයේ බළන්ගොඩ මානවකයාගේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු රැසක් ලැබී තිබෙනවා. ඒ අතර මෙහි ජනාවාස තිබූ බවටද සාක්ෂි තිබෙනවා. එයට හේතුව කදම්බ නදිය හෙවත් මල්වතු ඔය පිහිටා තිබීම අපට සිතා ගත හැකියි. ක්‍රිස්තු පූර්ව තුන්දහස් නවසීයක පමණ ඈත අතීතයකට එය රැගෙන යනවා. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ කටාරම් සහිත නිර්මාණ මෙන්ම ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ මෙහි ඉදිකර ඇති පබ්බතාරාමය සීගිරි කාශ්‍යප යුගයේදී වූ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

වෙස්සගිරිය ඉසුරුමුණියේම කොටසක් බවට කරන ලද කැණීම්වලදී ශිලා ලේඛන මගින් පෙන්වාදී ඇති අතර එය පිළිගැනීමට අවශ්‍ය සාධක නට්ටාවශේෂ සාක්ෂි දරනවා. බෝධි රන්මසු උයන, රුවන්දොර ඒ අතර වෙනවා. අනුරාධපුර පූජා නගරයේ ඇතුළු නුවර තවදුරටත් සංරක්ෂණය විය යුතුයි. ඉදිරියේදී කිසිදු ඉදිකිරීමක් සඳහා ඇතුළු නුවරට අවසර දෙන්නේ නෑ. ඇතුළු නුවර අඩි හතළිහක් යටින් ජනාවාස තිබූ බවට කැණීම්වලදී මතුකර ගන්න හැකි වී තිබෙනවා.”

සංස්කෘතික කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා:

“පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පසුගිය ජූලි 7 වැනි දිනට වසර 127ක් පිරෙනවා. නමුත් පුරාවිද්‍යාව හා ජනතාවගේ තිබෙන සම්බන්ධය ඉතා අඩුයි. ඒ නිසාම මේ ගමන පුරාවිද්‍යාවට පමණක් තනියෙන් ගමන් කළ නොහැකි බව අපි අවබෝධ කරගෙන මධ්‍යම සංස්කෘතික අරමුදලත්, ජනතාවත් සහ සම්බන්ධ කර ගනිමින් ඉදිරි කටයුතු කිරීමට පියවර ගන්නවා. ඒ අනුව මේ වසරේ අපි පුරාවිද්‍යා දෙසතියක් නම්කර එය ප්‍රායෝගික කිරීමට කටයුතු කළා. ඒ අනුව මේ රටේ තිබූ සත්ත්ව විශේෂ, ශාක විශේෂ, නටබුන්, නට්ටාවශේෂ ජනතාවට දැන ගැනීමට අවස්ථාව සැලසිය යුතුයි.”

අනුරාධපුර සංචාරක

සශිනි මධුෂානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT