Home » පිටරටට ගෙන ගිය තාරාදේවී ප්‍රතිමාව ඇතුළු වස්තු ගෙන්වා ගැනීමට පියවර ගන්නවා
අපට අවශ්‍ය හරි වැරැද්ද නිවැරදිව දකින පිරිසක්:

පිටරටට ගෙන ගිය තාරාදේවී ප්‍රතිමාව ඇතුළු වස්තු ගෙන්වා ගැනීමට පියවර ගන්නවා

-‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මාධ්‍ය හමුවේදී ඇමැති විදුර කියයි

by sachintha
July 17, 2024 2:00 am 0 comment

තාරාදේවී ප්‍රතිමාව ඇතුළු යටත්විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරාවස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පැවසීය.

රටට සහ සංස්කෘතියට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් අප රටේ බිහි විය යුතු බවත් ඒ හරහා රටට ආදරය කරන අභිමානවත් මිනිසුන් නිර්මාණය කළ යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පෙරේදා (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

“රටේ පවතින්නේ ආර්ථික ප්‍රශ්නයක් බව බහුතර ප්‍රජාවගේ අදහස වී තිබෙනවා. නමුත් ඊට අමතරව ශ්‍රී ලංකාවේ ජනතාව යහපත් මිනිසුන් ලෙස නිර්මාණය කිරීමේ වගකීම පවතින්නේ අපගේ අමාත්‍යාංශයටයි. යහපත් සමාජයක් වෙනුවෙන් කටයුතු කිරීමට නිල වශයෙන් අවස්ථාව පවතින්නේ ද අපගේ අමාත්‍යාංශයට බව පැවසිය යුතුයි.

ඒ වගේම රටට සහ සංස්කෘතියට අවශ්‍ය කරන අධ්‍යාපන ක්‍රමයක් අප රටේ බිහි වුණේ නෑ. මේ ගැටීම සමඟ සමාජය මේ වන විට බරපතළ ඛේදවාචකයකට තල්ලු වී තිබෙනවා. මේ හරහා රටට ආදරයක් නැති සහ අභිමානයක් නැති මිනිසුන් පිරිසක් බිහි වී තිබෙනවා. එම තත්ත්වය තුළ රට වහල් දේශයක් බවට පත් විය හැකියි. එම නිසා ජනතාව ඉන් මුදාගැනීම සඳහා අප අමාත්‍යාංශය විසින් විවිධ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබෙනවා.

වසර ගණනාවක් පුරා පළාත් පාලන ආයතනවල සේවය කළ දහසකට වැඩි පිරිසකට අද පත්වීම් ප්‍රදානය කෙරුණා. මෙය වසර ගණනාවක් පුරා පැවති අවශ්‍යතාවක්. නමුත් ඇතැමුන් පවසන්නේ මෙය මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් කරන ක්‍රියාවලියක් බවයි. නමුත් ඔවුන් ස්ථිර කිරීම සඳහා කැබිනට් පත්‍රිකා දහයකට වඩා ඉදිරිපත් කෙරුණා. එනම්, මාස පහකට වඩා ඒ සඳහා උත්සාහ කළා.

ඒ වගේම එක්සත් රාජධානිය විසින් අප රටින් රැගෙන ගිය පුරාවස්තු රැසක් තිබෙනවා. ඒවා අතර තාරා දෙව්දුවගේ පිළිමය ද තිබෙනවා. ඒ අනුව එම පිළිමය ඇතුළු පුරාවස්තු රැසක් මෙරටට ගෙන ඒමට අප අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම නෙදර්ලන්තයෙන් ද එවැනිම භාණ්ඩ රැසක් අපට ලැබුණා.

තව ද අප රටේ ඇතැමුන් නිතරම පක්ෂ විපක්ෂ ලෙස බෙදී එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිනවා. නමුත් අපට අවශ්‍ය වන්නේ හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින පිරිසක් පමණයි. ඒ අනුව රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන පිරිසක් අවශ්‍ය බව හැඟී යනවා” යැයිද පැවසීය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT