සමථ මණ්ඩල ක්‍රමය නිසාවෙන් අපේ රටේ ආරවුල් විසඳී අපරාධ සිදුවීම අවම වී තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
සමථ මණ්ඩල සඳහා යොමු වූ පැමිණිලිවලින් 70% විසඳීමට කටයුතු කර තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය. 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත මඟින් 1990 ජූලි මස 18 වැනි දින ප්‍රථම සමථ මූල මණ්ඩලය ස්ථාපිත කර තිබේ. අධිකරණ ක්‍රියාවලිය පහසු කිරීමේ අරමුණින් සුළු ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස සමථකරණ සංකල්පය හඳුන්වා දී ඇති අතර, සමථ මණ්ඩල සඳහා වසරකට ආරවුල් ලක්ෂ දෙකක් පමණ යොමු වෙයි. ප්‍රජා සමථ මූල මණ්ඩල, ඉඩම් සහ මූල්‍ය පිළිබඳ විශේෂ සමථ මූල මණ්ඩල, පාසල් සමථකරණ ඒකක මේ වන විට ක්‍රියාත්මක වන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සමථ මූල මණ්ඩල 329ක් ක්‍රියාත්මක වෙයි. ඉඩම් සම්බන්ධ සමථ මූල මණ්ඩල දිස්ත්‍රික්ක 16ක පිහිටුවා තිබේ. ඉඩම් පිළිබඳ සමථ මණ්ඩලවල සමථකරුවන් 489 දෙනෙකු කටයුතු කරයි. විශේෂ මූල්‍ය සමථ මණ්ඩල කොළඹ, ගම්පහ, මොණරාගල, අනුරාධපුර, මහනුවර හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල පිහිටුවා ඇත. 2024 ජනවාරි මස සිට ජූනි දක්වා කාලයේ පැමිණි එක්ලක්ෂ දාහත්දහස් පන්සිය අසූ දෙකක් යොමුව ඇති අතර, ඉන් සියයට 70 සංඛ්‍යාවක් ආරවුල් සමථයට පත් කර තිබේ. 2024 වසර තුළ මේ දක්වා වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් යොමුව ඇති අතර එම සංඛ්‍යාව විසි හය දහස් එකසිය අනූ තුනක් පමණ වේ. 2024 අංක 2 දරන සමථ මණ්ඩල පනතින් රුපියල් ලක්ෂ පහක්ව පැවති මූල්‍ය ආරවුල් විසඳීමේ වටිනාකම ලක්ෂ දහයක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බැව් අනාවරණය කළේ ජුලි 18 වැනි දිනට යෙදෙන 34 වන ජාතික සමථ දිනය නිමිති කර ගනිමින් සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් පෙරේදා (15) ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී සංවිධාන කර තිබූ සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි. එහිදී අධිකරණ ඇමැතිවරයා මෙසේද කීය.
‘සමථ දිනය සමරන මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ඉතා සාර්ථක සමථ ක්‍රමයක් පවත්වා ගෙන යන සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමසාරිස්වරුන්, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නිලධාරින්, සමථකරුවන්, ඒ වැඩපිළිවෙළ සඳහා සහාය දෙන ආසියා පදනම, බ්‍රිතාන්‍ය කවුන්සිලය, SEDER ආයතනය ඇතුළු සියලු දෙනාට කෘතවේදී විය යුතුයි. සමථකරණ සංකල්පය 1956 වසරේදී අපේ රටට හඳුන්වා දුන්නත් එම ක්‍රමය අසාර්ථක වුණා. එහෙත් 1988 නැවත වරක් මෙරටට සමථ මණ්ඩල ක්‍රමය යළි හඳුන්වා දෙනු ලැබුවා. කිසියම් සමාජයක පැවැත්ම සඳහා නීතිය හා සාමය අත්‍යවශ්‍යයි. රටක නීතිය සාමය සුරක්ෂිත කිරීමට ආණ්ඩුව බැඳී සිටිනවා. නීතිය හා සාමය ආරක්ෂා නොකළහොත් ඒ රටේ ආණ්ඩුව අසාර්ථකයි. ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. 1931 වසරේ මෙරටට සර්ව ජන බලය හඳුන්වා දුන්නා.පසුව සෝල්බරි, කෝල්බෘක්, කැමරන් වැනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇති වුණා. 1978 ජේ.ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් ව්‍යවස්ථාව දැනට පවතිනවා. තවමත් අපි ඒ ව්‍යවස්ථාවෙන් බැටකමින් හිර වෙලා ඉන්නවා. රට අරාජික තත්ත්වයට පත්වීම වැළැක්වීමට යුක්තිය නිසි පරිදි ඉටු විය යුතුයි. ඒ සඳහා සාමය අවශ්‍යයි. පළමුව සාමය පවුල තුළ පැවතිය යුතුයි. පවුල තුළ සාමය පවතින්නේ නම් ගම, සමාජය සාමකාමී වෙනවා. ගමේ සාමය අපේ රටේ අතීතයේ තිබුණා. මිනිසා හදා රට හැදිය යුතුයි යනුවෙන් මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමියන් දේශනා කර තිබුණා. අපේ රටේ පාලකයන් උත්සාහ කළේ රට හදා මිනිසුන් හැදීමටයි. ඒ නිසා රටට වැරදුණා. සිංගප්පුරුව මැලේසියාව දියුණු රටවල් බවට පත් වුණේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ නිසයි. නීතියේ ආධිපත්‍යය පවතින රටවලට ව්‍යවසායකයන් එනවා. අපේ රටේ ආණ්ඩු විසින් කළ යුතු දේ නොකරමින් නොකළ යුතු දේ කළ නිසා රට විනාශ වුණා. ඒවායේ ප්‍රතිඵල අපි පසුගිය කාලයේ දැක්කා. සමථකරණ සංකල්පය නිසා අධිකරණය වෙත යොමු වන නඩු ලක්ෂ ගණනින් අඩු වෙලා තිබෙනවා. සමථ මණ්ඩල ක්‍රමය නිසාවෙන් සමථකරණය වූ ආරවුල් හේතුවෙන් අපේ රටේ ආරවුල් විසඳී අපරාධ සිදුවීම අවම වෙලා තිබෙනවා. 2015 වසර වන විට සමථ මණ්ඩලවල පැමිණිලි විභාග කිරීමේ මූල්‍ය සීමාව වුණේ රුපියල් දෙලක්ෂ පනස් දහසයි. එය 2015 රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කළා. 2023 වසරේ එම මූල්‍ය සීමාව රුපියල් ලක්ෂ දහයක් දක්වා වැඩි කිරීමට කටයුතු කළා. පසුගිය වසරේ සමථ මණ්ඩල සඳහා යොමු වූ පැමිණිලිවලින් සියයට හැත්තෑවක් විසඳීමට කටයුතු කර තිබෙනවා. සාමාන්‍යයෙන් සමථ මණ්ඩලවලින් විසඳනු ලබන පැමිණිලි සංඛ්‍යාව ලක්ෂයක් පමණ වෙනවා. එයත් අධිකරණය වෙත යොමු වූවා නම් අධිකරණයේ නඩු ප්‍රමාණය වසරකට තවත් ලක්ෂයකින් වැඩි වෙනවා. පසුගිය කාලයේ අපි නීති පද්ධතිය තුළ වෙනසක් සිදු කරමින් නව අණ පනත් විශාල සංඛ්‍යාවක් සම්මත කළා. වෙනසක් අවශ්‍ය බව ප්‍රකාශ කළ අයට දශමයක්වත් වෙනසක් කිරීමට නොහැකි වුණත් අපි ඒ වෙනස කළා. නීති රාමුව ශක්තිමත් කළා. දික්කසාද සම්බන්ධ නීතිය තවදුරටත් ලිහිල් කරමින් නව නීතියක් සකස් කළා. එය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, හෙක්ටර් එස්.යාපා මහත්වරුන් අදහස් පළ කළහ. ආසියා පදනම, බ්‍රිතාන්‍ය කවුන්සිලය හා SEDER ආයතන නියෝජිතයන්, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, සමථකාරවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. වසර 25කට වඩා කාලයක් සමථ මණ්ඩලවල සේවය කළ සමථකරුවන් ඇගයීම ද මෙහිදී සිදු විය.
බුද්ධිකා ඉඹුලාන