ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා බඳවාගත් 370ක පිරිසක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඩිපෝ තුළ පවතින රියැදුරු සහ කොන්දොස්තර තනතුරු පුරප්පාඩු සඳහා මෙම පිරිස අනුයුක්ත කිරීමට නියමිත වේ.
මේ වන විට බස්නාහිර පළාත තුළ වසර දහයකට අධික කාලයක් සේවය කරන පිට පළාත්වල රියැදුරු මහතුන් සහ කොන්දොස්තරවරුන් දීර්ඝ කාලයක් තිස්සේ අයදුම් කර ඇති ස්ථාන මාරු ලබාදීම සඳහා මෙම නවක රියැදුරු සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීම තුළින් කටයුතු කෙරෙනු ඇත.
මෙලෙස බඳවා ගන්නා රියැදුරන් සහ කොන්දොස්තරවරුන් වසර තුනක් අනිවාර්යයෙන්ම බස්නාහිර පළාත තුළ තමන් අනුයුක්ත කළ ඩිපෝවේ සේවය කළ යුතු අතර කිසිදු දේශපාලන බලපෑමක් මත එහි කිසිදු වෙනසක් සිදු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අපේ රටේ ජනතාව අතරින් බහුතර පිරිසක් පාසලට යෑමට, රැකියාවට යෑමට, ආදී සෑම කටයුත්තකටම ගමන් කළේ ලංගම බසයෙන්. 1958 වසරේ පොදු ජන යුගයක් ආරම්භ කිරීම සඳහා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ඇතුළු නායකයන් බස් සේවය ජන සතු කරමින් ලංගම ආරම්භ කරනු ලැබුවා. සුවහසක් ලාංකීය ජනතාවගේ ජීවිත ගොඩනැඟීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය අප්‍රමාණ සේවාවක් සපයා තිබෙනවා. එම සේවය අඛණ්ඩව ලබාදීම සඳහා රියැදුරු සහ කොන්දොස්තර දෙපොළගේ සේවය අත්‍යවශ්‍ය වනවා. ඔවුන් වෙත මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් පිළිබඳ වගකීම පැවරෙනවා. ඒ හේතුවෙන් අනතුරු අවම වන ආකාරයෙන් මගීන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරමින් තම රාජකාරිය අවංකවත් හෘද සාක්ෂියට එකඟවත් ඉටු කිරීමට අදිටන් කර ගත යුතුයි.
එමෙන්ම ලංගම සේවකයන් ලෙස දෛනිකව අවශ්‍යතාවයන් වෙනුවෙන් බස් රථයට ගොඩවන ජනතාව අපහසුවට පත්වන ආකාරයේ වැඩවැරුම්වලට දායක නොවන ලෙස ඉල්ලීමක් සිදු කරනවා. හේතුව හෝ ගැටලුව කුමක් වුවත් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අවශ්‍ය මාර්ග අප සලසා තිබෙනවා. තමන් මුහුණ දෙන ගැටලුවක් තම ඩිපෝවේ ප්‍රධානියා හරහා විසඳුමක් නොලැබෙන්නේ නම් පළාත් ප්‍රධානීන් හරහාත් එසේත් නොමැති නම් ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් හරහාත්, එසේත් නොමැති නම් සභාපතිවරයා හරහාත්, එලෙසත් විසඳුමක් නොලැබෙන්නේ නම් අමාත්‍යාංශය ලේකම්වරයාටත්, එසේ නොමැති නම් අමාත්‍යවරයාටත් දැනුම් දිය හැකි ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා.
පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලක්ම පවත්වාගෙන යන්නේ සාමාන්‍ය ජනතාවගෙන් බදු වශයෙන් අය කරගන්නා මුදලින්. එලෙස පාඩු ලබමින් තිබූ ලංගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය විශාල උත්සාහයක නිරත වනවා. පසුගිය වසරේ රජය විසින් රාජ්‍ය සේවකයින්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දීම තුළින් එම පාඩුව තවදුරටත් වර්ධනය වුණා. අර්ධ රාජ්‍ය ආයතනයක් වුවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් මත එම වැටුප් වැඩිවීම සියලුම ලංගම සේවකයින්ටත් ලබාදීමට තීරණය කළා. ඒ සඳහා මාසිකව සාමාන්‍ය වැටුප් සඳහා දරන වියදමට අමතරව රුපියල් දශලක්ෂ 275ක් වැය වනවා. එම ප්‍රමාණය වසරකට මිලියන තුන්දහසකට වඩා වැඩිවනවා. එලෙස ලබන පාඩුව තවදුරටත් වැඩිවීමට ඇතැම් සේවකයින් සිදු කරන වංචනික ක්‍රියා හේතුවනවා. ඒ තුළින් ආයතනය කඩා වැටෙනවා.
එම නිසා කිසිදු සොරකමකට දූෂණයකට හෝ අක්‍රමිකතාවයකට දායක නොවී ලැබෙන ආදායම සම්පූර්ණයෙන් ඩිපෝව වෙත ලබාදීමට ඔබ කටයුතු කළ යුතුයි.
මෙම කරුණු තුන නිසි ආකාරයෙන් ආරක්ෂා කිරීම තුළින් පැහැබර අනාගතයකට උරුමකම් කීමේ හැකියාව ඔබට ලැබෙනවා. එලෙස කාර්යක්ෂමව කටයුතු කර ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව එලෙස ලබන ලාභයෙන් කොටසක් නැවතත් සේවකයින් අතරම බෙදාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා.
එමෙන්ම කාර්යක්ෂමව සේවය ඉටුකිරීම තුළින් සුදුසුකම් හා පළපුරුද්ද මත නියමිත උසස්වීම් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ තුළින් වඩාත් හොඳ ජීවිතයක් පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. එසේ නොවුනහොත් ලංගම කඩා වැටෙනවා. 2025 වසරෙන් පසු ලාභ ලැබීමට හැකියාවක් නොලැබුණහොත් මෙම ආයතනය පුද්ගලිකකරණයට හෝ වසා දැමීමට අප අත්සන් තබා ඇති ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුව සිදුවනවා. එම ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකළහොත් ආයතනය මෙන්ම රට ද කඩා වැටෙනවා. මෙවන් තීරණාත්මක අවස්ථාවක තරුණ ශක්තිය රටට ඉතාමත් වැදගත්. සියලු දෙනා දේශපාලන මතිමතාන්තර හෝ දේශපාලන න්‍යායන්ගෙන් තොරව ආර්ථිකමය වශයෙන් කල්පනා කරමින් වැඩ කටයුතු කළ යුතුයි. එලෙස වෙහෙසි වැඩ නොකරන අයට මුදල් මුද්‍රණය කරමින් රජයේ රැකියා ලබාදීමට හැකියාවක් නැහැ.
විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල සඳහා රියැදුරු සහ කොන්දොස්තරවරුන් සොයා ගැනීම ඉතාමත් අපහසුයි. ඊට හේතුව මෙම පළාතේ බොහෝ දෙනෙකුට මෙම වැටුපට වඩා විකල්ප ආදායම් මාර්ග පැවතීමයි. එම නිසා මේ වන විටත් බස්නාහිර පළාත තුළ සේවය කරන රියැදුරු සහ කොන්දොස්තරවරුන්ගේ බහුතරයක් පිට පළාත්වල විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස්. වසර දහයක් පමණ එලෙස මෙම පළාත තුළ සේවය කළ සේවකයන් විශාල පිරිසක් තම ගම් ප්‍රදේශවලට ස්ථාන මාරු ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ අනුව මේ අවස්ථාවේ ආයතනයට බඳවා ගන්නා සියලු දෙනා වසර තුනක කාලයක් අනිවාර්යයෙන් මෙම පළාත තුළ සේවය කළ යුතුයි. එලෙස රජකාරි කිරීමට නොහැකි කෙනෙකු සිටිනවා නම් පත්වීම භාර නොගෙන සිටිය යුතුයි. එසේ නොමැතිව කිසිදු දේශපාලන බලපෑමකට එහි කිසිදු වෙනසක් සිදු කරන්නේ නැහැ.
මෙම රැකියාව තුළ ලැබෙන ඉලක්ක සම්පූර්ණ කිරීම තුළින්, රුපියල් හැටදහසකට වඩා වැඩි ආදායමක් දිනකට ආයතනය වෙත උපයා දීමෙන් දිනකට රුපියල් 1200ක අමතර දීමනාවක් ලබාගත හැකි වනවා. මත්ද්‍රව්‍ය භාවිතය, මූල්‍ය වංචා, ටිකට්පත් ලබා නොදීම වැනි හේතුමත ඕනෑම කෙනෙකුගේ රැකියාව අහිමි විය හැකියි. එහිදී කුමන ආකාරයේ දේශපාලන බලපෑමක් සිදුවුවත් ඒ තීරණ කිසිදු අවස්ථාවක වෙනස් වන්නේ නැහැ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරුන් ඇතුළු විධායක නිලධාරීන්, පත්වීම් ලාභින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.