දේශපාලනය ගැන නොහිතා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වුණා – විදෙස් ඇමැති
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතියක් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
එහිදී පක්ෂ, විපක්ෂ සියලු දේශපාලන නායකයන්ට පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බව පැවැසූ ජනාධිපතිවරයා දේශපාලන අරමුණුවලින් බැහැරව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙළට සියලු දෙනාගේ සහාය හිමි විය යුතු බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නීතිඥවරු සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.
දේශපාලනය කිරීමට ඕනෑම අයකුට අයිතිය තිබෙන නමුත් රට ඉදිරියට ගෙන යන ආර්ථික රාමුව බිඳ දැමීමට කිසිවකු කටයුතු නොකළ යුතු බව පැවැසූ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ පසුගිය සති කීපයේ මෙන්ම ඊට පෙර සිදු වූ වැඩවර්ජන ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ ඒවා බව ද පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.
පසුගිය වසර දෙකේ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා. එහිදී රට ගැන සිතා වැඩ කරන කණ්ඩායමක් බිහි වුණා. ඔවුන් සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කළා. ඒ නිසා අද විවිධ පක්ෂවලට අයත් අය වගේම කිසිම පක්ෂයකට අයත් නැති අයත් මේ ස්ථානයේ සිටිනවා. 2022 මැයි 9 වැනිදා සිදුවීම පිළිබඳ මම අලුතින් සඳහන් කළ යුතු නැහැ. රටේ ජනතාව පීඩාවට පත්වීම නිසා උද්ඝෝෂණ ඇති වුණා. ඇතැම් අය එම උද්ඝෝෂණවලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළා. අවසානයේ සිදු වුණේ සාම්ප්‍රදායික පක්ෂවලට රටේ නායකත්වයට පැමිණීමට නොහැකි වීමයි. 2021 දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා. රටේ ඉදිරියේදී ආර්ථික ගැටලුවක් ඇති විය හැකි බවත්, ඒ පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස ජනාධිපතිට දැනුම් දෙන ලෙසත් එතුමිය මා සමඟ ප්‍රකාශ කළා. මම ඒ බව හිටපු ජනාධිපතිට දැනුම් දුන්නා. ඒ වගේම ලෝක බැංකුවේ නියෝජිතයන් පැමිණි අවස්ථාවේදීත් අප මේ පිළිබඳ සාකච්ඡා කළා. ඒ සමඟම ජනාධිපති පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළා. එහිදී හැම පක්ෂයක්ම විවිධ අදහස් ඉදිරිපත් කර තිබුණා.
ඒ සඳහා විපක්ෂයෙන් සහභාගි වුණේ ද්‍රවිඩ සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා සහ එම්.ඒ. සුමන්තිරන් මහතා පමණයි. එජාපයෙන් සම්බන්ධ වුණේ මා පමණයි. විපක්ෂයේ අනෙකුත් පක්ෂ ඒ සඳහා සහභාගි වුණේ නැහැ. එය වැරැදි ක්‍රියාවක් බව කිව යුතුයි.
එම අවස්ථාවේ රට ඉදිරියේ අර්බුදයක් තිබුණා. ඒ සඳහා ගත යුතු පියවර කුමක්ද කියා සොයා බැලීම අප සියලු දෙනාගේ වගකීම වුණා. එම වගකීමෙන් කිසිවකුට ඈත් වෙන්න බැහැ. විපක්ෂ නායකයා කියන්නේ විකල්ප අගමැතිවරයායි. ඔහු බස් රියැදුරෙකු නොවෙයි. ඒ නිසා මේ සඳහා සහභාගි වීමට ඔහුට වගකීමක් තිබුණා. නමුත් ඒ පිළිබඳ එක් දේශපාලන පක්ෂයක්වත් කිසිදු පියවරක් ගත්තේ නැහැ.
ඇතැමුන් අය වැය විවාදයේදී රට ගොඩගන්නේ කොහොමද කියා අදහස් ඉදිරිපත් කළා. නමුත් වගකීම භාර ගන්න අකමැති වුණා. ජනතා විමුක්ති පෙරමුණ ඊට උත්සාහයක්වත් දැරුවේ නැහැ. නමුත් අප මේ වගකීම භාර ගත්තා. ඒ වන විට රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබුණා. එයින් රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ජනාධිපති කවුද, කියන එක මට ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් ඒ වෙලාවේ මට රට බේර ගැනීමට අවශ්‍ය වුණා.
අප විටින් විට මෙවන් අභියෝගවලට මුහුණ දී තිබෙනවා. 1971 කැරැල්ල තිබූ අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන මහතා විපක්ෂ නායක ලෙස සිටිමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සහාය දුන්නා. එතුමාගේ පුතත් එක් අවස්ථාවක අත්අඩංගුවට ගත්තා. නමුත් ස්ථාවරය වෙනස් කළේ නැහැ. 1989 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ රත්වත්තේ ඇමැති පැමිණ රටේ නීතිය හා සාමය ඇති කිරීමට සහයෝගය දෙන බව ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. එවිට එම දෙදෙනාගෙන්ම හමුදාපතිවරයා ඇහුවා අපි මේ වැඩේ කරන්නම් පස්සේ අපට දොස් කියන්න එපා කියලා. දෙදෙනාම එකඟතාව පළ කළා. මේ ආකාරයට විවිධ අවස්ථාවල අප සාකච්ඡා කර කටයුතු කර තිබෙනවා.
මේ වැඩ කටයුතු කරන අතරතුර ජූලි 9දා සිදුවීමට මුහුණදීමට අපට සිදු වුණා. ජූලි 9 වැනිදා හිටපු ජනාධිපති ජනාධිපති මන්දිරයෙන් පිටවෙලා ගියා. ඒ අවස්ථාවේ අගමැතිවරයා ලෙස මටත් ඉල්ලා අස්වෙන්න කියා කිව්වා. මම කාටද අස්වීමේ ලිපිය භාර දෙන්නේ. මහ මුහුදට ගිහින් ජනාධිපතිවරයා සොයන්න ද, මම කිව්වා මට ඉවත්වීමට නම් බහුතරයක් ඇති කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා. විපක්ෂ නායකයා අපට කියනවා. නැහැ අපට කවුරු හරි ගන්න ඔබ ඉවත් වෙන්න කියලා.
එහිදී මම කිව්වේ ඉන්න කෙනා පළමුව ඉදිරිපත් කරන්න කියලයි. ඊට පස්සේ ඔවුන් කියනවා කථානායකතුමාට භාර ගන්න කියලා. කථානායක කිව්වා මට පාර්ලිමේන්තුව පාලනය කරන්න පුළුවන්. ඒත් ආර්ථිකය පාලනය කිරීමේ වගකීම මට ගන්න බැහැ කියලා. මේ විදියට රටේ දේශපාලන ක්‍රමය කැඩී ගියා.
අවසානයේ පාර්ලිමේන්තුව වැටලීමට උත්සාහ කළා. එම අවස්ථාවේ පක්ෂ නායකයන් සියලු දෙනා පාර්ලිමේන්තුව ඇතුළේ සිටියා. හමුදාපතිවරයා ඒ බව දැනුම් දුන් විට ඔවුන් පැවැසුවේ අගමැතිවරයා ඉවත්විය යුතුයි කියලා. එම අවස්ථාවේ හමුදාපතිවරයාට පණිවිඩයක් ලැබුණා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව පැත්තට එනවා කියලා. ඉන් පසුව මිනිත්තු 5න් සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් පිටවෙලා ගියා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කියා හමුදාපතිවරයාට දැනුම් දෙන්න මට සිදු වුණා. මම ඒ පිළිබඳ කථානායකවරයාටත් දැනුම් දුන්නා.
අපි රටේ සිදු කළ දේශපාලන පෙරළිය තහවුරු කරගෙන ඉදිරියට ගොස් රටේ අනාගතය ගොඩනඟමු. අපට හැමදාම සිඟමන් යදින ජාතියක් වෙන්න බැහැ. ආර්ථික වශයෙන් පහළට යන්නත් බැහැ. රට ශක්තිමත් ආර්ථිකයක් තුළ ඉහළට ඔසවා තැබිය යුතුයි. එම වගකීම ඉටු කිරීමට සියලු දෙනා එක්වෙමු කියා ආරාධනා කරනවා. අද ඔබේ පැමිණීම පිළිබඳවද අප ස්තූතිවන්ත වෙනවා.
විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා – රටේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් මේ අවස්ථාවට නීතිඥවරුන් රැසක් පැමිණ සිටිනවා. අපේ දේශපාලන මූලය කොතැනද? අපි කාවද නියෝජනය කරන්නේ? අපේ දේශපාලන ඉතිහාසය මොකක්ද? පක්ෂය මොකක්ද ? යන සෑම කාරණයක් ගැනම අපි කවුරුත් දැනුවත්. මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රථම වතාවට මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන්නේ ඇයි කියලා.
අපි සියලු දෙනා දන්නවා තිස් අවුරුදු යුද්ධය අවසානයේ ඒ යුද්ධය අවසන් කළ නායකයා ලෙස තවත් වාරයක් රට පාලනය කිරීමේ අවස්ථාව එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදුන්නා. ඒ යුද්ධය අවසන් කර තවදුරටත් රට ස්ථාවර කිරීම සඳහායි. ඊට සමාන තත්ත්වයක් තමයි මේ මොහොතේ තිබෙන්නේ. නමුත් මේ වන විට උද්ධමනය 1.5% ක් අගයකට ගෙනැවිත් තිබෙනවා. රටේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 6ක ආසන්නයට ගෙන විත් තිබෙනවා. මේ තැනට රට ගෙන ඒම පහසු කටයුත්තක් වුණේ නෑ. දේශපාලනය ගැන නොහිතා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වුණා. ඒ තීන්දු නොගැනීම නිසා සිදුවූ විනාශය අපි අත් දැක්කා. විවිධ කටයුතුවලට විවිධ පුද්ගලයන් දක්ෂයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට යළි ගොඩනඟන කටයුත්තට දක්ෂ බව පොදු පිළිගැනීම වුණා. ඒ අනුව තමයි රනිල් වික්‍රමසිංහ මහතාට ඒ වෙනුවෙන් සහාය දීමට පොදුජන පෙරමුණ තීරණය කළේ.
අධ්‍යාපන ඇමැති නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා – මේ වසර දෙකේ තරම් පාර්ලිමේන්තු ඉතිහාසයේ නව පනත්, සංශෝධන ගෙනා වසර දෙකක් නැති බව කිව යුතුයි. ජනාධිපතිගේ මේ වැඩපිළිවෙළ ඉදිරියේදී මීටත් වඩා නව පනත්, සංශෝධන ගෙන ඒමට සිදු වෙනවා. ගෙවී ගිය වසර දෙකක කාලය ඉතාමත් අභියෝගාත්මක කාලයක්. මේ වසර දෙක පුරාම ජනාධිපතිගෙන් සියලුම ක්ෂේත්‍රයන්ට නිරන්තර උපදෙස් දීමත් සිදු වෙනවා.
අප ගත කළේ පෙළපොත් මුද්‍රණය කර ගැනීමට නොහැකි වූ, නිල ඇඳුම් ලබාදීමට නොහැකි වූ, පිළිතුරු පත්‍ර පරීක්ෂාවට යන්න ගුරුවරුන්ට ඉන්ධන නැති වූ කාලයක්. දැන් ඒ තත්ත්වයෙන් අප ගොඩ ඇවිත් තිබෙනවා. ඒ දරුණු ආර්ථික තත්ත්වය මේ වසර දෙකේ කළමනාකරණය කරගෙන තිබෙනවා.
වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහත්වරුන් සහ ජනාධිපති නීතිඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.