Wednesday, April 23, 2025
Home » විදුලි බිලේ දැවැන්ත අඩු වීමක් ජන ජීවිතයට සුවිශාල සහනයක්

විදුලි බිලේ දැවැන්ත අඩු වීමක් ජන ජීවිතයට සුවිශාල සහනයක්

by sachintha
July 16, 2024 1:04 am 0 comment

අඩු කළ විදුලි ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

ගෘහස්ථ අංශයට 27% අඩු කිරීමක්

ආගමික ස්ථාන සඳහා 30%කින් අඩු කෙරේ

හෝටල් සහ කර්මාන්ත අංශ සඳහා 25%කින්

පොදු කාර්යය සහ රාජ්‍ය ආයතනවල විදුලි බිලත් පහළට

සමස්ත අඩු කිරීම 22.5%ක්

මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සමස්ත විදුලි පාරිභෝගිකයන්ට දැවැන්ත සහනයක් සලසා දෙමින් අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 22.5කින් අඩු කර තිබේ. විදුලිබල මණ්ඩලයේ එම යෝජනා හා අදහස් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෙසේ විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ආගමික ස්ථාන සඳහා සියයට 30කින්ද, ගෘහස්ථ අංශයට සියයට 27 කින්ද, හෝටල් සහ කර්මාන්ත අංශ සඳහා සියයට 25කින් සහ පොදු කාර්ය සහ රාජ්‍ය ආයතන වල විදුලි බිල් ඇතුළු සමස්ත විදුලි බිල සියයට 22.5කින් අඩු කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු මහතා පැවසීය.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පැවැති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩය සඳහා ඒකක 30ට අඩු අය කිරීමට පැවැති මිල වූ රුපියල් 08ක ගාස්තුව රුපියල් 06දක්වාත් පැවැති මාසික ගාස්තුව රුපියල් 150 සිට රුපියල් 100 දක්වා පහත දමා තිබේ.

ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩය සඳහා ඒකක 31ට වැඩි සහ 60 දක්වා පැවැති ඒකකයක මිල රුපියල් 20ක ගාස්තුව රුපියල් 09 දක්වාද පහත දමා ඇති අතර රුපියල් 300ක්ව පැවැති මාසික ගාස්තුව රුපියල් 250 දක්වා පහත දමා තිබේ.

ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩය සඳහා ඒකක 61-90 අතර ඒකකයට රුපියල් 30ක්ව පැවැති මිල රුපියල්18 දක්වාද, ඒකක 61-90 අතර ඒකකයකට රුපියල් 30 ක්ව පැවැති මිල රුපියල් 18 දක්වාද, ඒකක 91-120 අතර ඒකකයට රුපියල් 50 ක්ව පැවැති මිල රුපියල් 30 දක්වාද, ඒකක 121-180 අතර ඒකකයකට පැවැති මිලවූ රුපියල් 50 රුපියල් 42ක් දක්වාද, ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා පැවැති රුපියල් 75ක මිල රුපියල් 65 දක්වාද අඩු කර තිබේ.

ආගමික ස්ථාන වල අඩු විදුලි පරිභෝජනයක් සහිත කාණ්ඩ සඳහා මෙතෙක් අයකල රුපියල් 8 සහ 9 බැගින් වු ඒකක මිල රුපියල් 6 දක්වාද රුපියල් 18ක් වු ඒකක මිල රු 10 දක්වාද රුපියල් 32ක් වූ ඒකක මිල රු. 20 දක්වාද රුපියල් 43ක් වූ ඒකක මිල රුපියල් 30 දක්වාද හෙට අඩු කර තිබේ. ආගමික ස්ථානවලින් අය කළ මාසික ස්ථාවර ගාස්තු ද සියලු කාණ්ඩ සඳහා අඩු කර තිබේ.

කර්මාන්ත ශාලා සහ හෝටල් කාණ්ඩයේ දහසු වෝල්ත 42ට අඩු කොන්ත්‍රාත් ඉල්ලුමක් ඇති උප කාණ්ඩය සඳහා මෙතෙක් බලපැවත්වු රුපියල් 37, රුපියල් 30.50 සහ රුපියල් 25.50ක් වු ඒකක මිල පිළිවෙලින් රුපියල් 30.50, රුපියල් 18 දක්වා අඩුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. එම පාරිභෝගික කාණ්ඩ දෙක සඳහා අදාල වන මාසික ගාස්තු සංශෝධනය කර නැත. නව ගාස්තු සංශෝධනයේදී රාජ්‍ය ආයතන හා පොදු කාර්ය අංශ සඳහා මෙතෙක් ක්‍රියාත්මක වු රු.55, රු.45 සහ රු.37 බැගින් වු ඒකක මිල පිළිවෙලින් රු46.75, රු.38.25 සහ රු.31.45 දක්වා අඩු කර තිබේ.

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කල යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව හා ඒ සම්බන්ධයෙන් පැවත් වු මහජන උපදේශනයේදී ඉදිරිපත් වු යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිෂන් සභාව සිය තීරණය ඊයේ (15) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ගෘහස්ථ, ආගමික ස්ථාන, හෝටල්. කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු හෙට සිට අඩු කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිය යෝජනාව මගින් සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 10කට සීමා කර තිබුණ ද කොමිෂන් විසින් සමස්ත ගාස්තු අඩුවීම සියයට 22.5ක් දක්වා ඉහල දමන ලදි. ඒ අනුව ගෘහස්ථ අංශය සඳහා පහත සදහන් පරිදි ගාස්තු අඩු කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

නව ගාස්තු සංශෝධනයත් සමඟ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට කොන්දේසි 7ක් ද පනවා ඇත. විදුලි පාරිභෝගිකයින් ඉල්ලා සිටින විටද මුද්‍රිත විදුලි බිල්පත් නිකුත් කළ යුතු බව ද එම කොන්දේසි අතර වේ. එමෙන්ම විදුලි ජනනය සඳහා ඉන්ධන මිලදී ගැනීමේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමඟ ගිවිසුම්වලට එළඹීමට පියවර ගන්නා ලෙස ද කොන්දේසි පනවා ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නියෝජ්‍ය සභාපති චතුරිකා විජේසිංහ, සාමාජිකයින් වන ඩග්ලස් එන්. නානායක්කාර, එස්.ජී. සේනාරත්න, රන්ජිත් කලුතන්ත්‍රිගේ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT