කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රංවල ප්‍රදේශයේදී යතුරුපැදියක් පෙරළී ඉදිරියෙන් ධාවනය වෙමින් තිබුණු ලොරි රථයකට යටවීමෙන් තරුණයෙක් මියගොස් තවත් තරුණයෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවැසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ අංක 90/29/3 බී ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සීදුව පාර කොටුගොඩ ලිපිනයේ පදිංචිව සිටි 22 හැවිරිදි මහාමයා ලිනන මොහොට්ටිගේ දොන් චානුක සුභාෂ් සිරිවර්ධන නමැති තරුණයෙකි. තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණේ මියගිය තරුණයාගේ වැඩිමහල් සහෝදරයෙක් වන මහාමයා ලිනන මොහොට්ටිගේ දොන් යොහාන්ත සිරිවර්ධන නමැති තරුණයෙකි.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ මියගොස් ඇති තරුණයාගේ පියා විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු බවත් ඔහුට වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු හා එක් වැඩිමහල් සහෝදරියක් සිටින බවත්ය. මිය ගිය තරුණයා කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත්ව විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් සිට ඇති බවත් පොලිසිය පැවැසීය.
ඉකුත් 12 වැනිදා වැඩිමහල් සහෝදරයෙක් සමඟ යතුරු පැදියකින් මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වැඳ පුදාගෙන කටුගස්තොට පදිංචිව සිටින ඥාති නිවසකට යාමට අපේක්ෂාවෙන් නිවසින් මහනුවර බලා යාමට පිටව ඇති බවත් පොලිසිය පැවැසීය. මියගොස් ඇති තරුණයා යතුරුපැදියේ පිටුපස ගමන් කරමින් සිට ඇති අතර වැඩිමහල් සහෝදරයා යතුරුපැදිය පදවා ඇති බවත් පොලිසිය පැවසීය. වරකාපොළ ගලිගමුව පසුකර කෑගල්ල නගරයට ආසන්නයේ පිහිටි රංවල ප්‍රදේශයේදී වරකාපොළ සිට කෑගල්ල නගරය බලා ධාවනය වෙමින් තිබුණු පෞද්ගලික බස් රථයකට යතුරුපැදිය ඉස්සර කර ධාවනය කර ඇති බවත් පොලිසිය පැවැසීය. එම අවස්ථාවේදී යතුරුපැදිය මාර්ගයේ පෙරළී ගොස් මහනුවර සිට ගාල්ල බලා මැෂින් කිහිපයක් ප්‍රවාහනය කරමින් තිබුණු ලොරි රථයක ඉදිරිපස රෝදයට 22 හැවිරිදි තරුණයා යට වී යතුරුපැදිය හා පැදිකරු ලොරිය යටින් පසෙකට තල්ලු වී ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව තුවාලකරුවන් දෙදෙනා ප්‍රදේශවාසී ජනයා විසින් ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සුළු වේලාවකින් පසුව 22 හැවිරිදි තරුණයා මිය ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය. සෙසු තරුණායා පෙරේදා 13 වැනිදා සවස තරමක් සුවය ලබා නිවසට ගිය බවත් පොලිසිය පැවසීය.
මියගොස් ඇති තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා 13 වැනිදා කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය නෙරංජා උදය කුමාරි මහත්මිය විසින් සිදු කළාය. රිය අනතුරක් හේතුවෙන් මුහුණට හිසට හා පපුවට සිදුව තිබුණු බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ හදිසි අනතුරු මරණයක් බවට කෑගල්ල මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක කිත්සිරි රණසිංහ මහතා තීන්දු කෙරිණ.
සැකකාර ලොරි රථයේ රියැදුරුවරයා වන ගම්පොළ දවුලගල වැලිගල්ල වලකුඹුරේ පදිංචිව සිටින 66 හැවිරිදි හෙරත් මුදියන්සේලාගේ ලයනල් නමැත්තා කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිශාන්ති අබයරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙසත් රියැදුරු බලපත්‍රය අත්හිටුවන ලෙසත් යළි නඩුව ජූලි 16 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළාය.
මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද (15 වැනිදා) කොටුගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ යන නිලධාරින්ගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් සුනිල් ශාන්ත (30426), අනිල් (40286) නිලධාරින් විමර්ශන කටයුතු සිදු කෙරිණ.
කෑගල්ල විශේෂ
චමින්ද ජයලත්