පොතුපිටිය පොලිස් බලප්‍රදේශයේ රඹුක, පින්නගොඩැල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පොලුවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවකට සැකපිට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළක් සහ තවත් පිරිමි පුද්ගලයකු පෙරේදා (13) දින කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන (26 වැනි) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ බව පොතුපිටිය පොලිසිය සඳහන් කළේය.
මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ සිට පැමිණ පෞද්ගලික තේ වත්තක කම්කරුවන් ලෙස සේවය කරමින් සිටි අඹුසැමි යුවළක් සහ ඔවුන් සමඟ නතර වී සිටි පිරිමි පුද්ගලයකු බව පොලිසිය පැවසීය.
මාර්ගයේ වැටී තිබූ මළසිරුර මුලින්ම දැක තිබුණේ එදින උදෑසන රැකියාවට යමින් සිටි පෙර පාසල් ගුරුවරියක විසින් වන අතර ඇය මේ පිළිබඳ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හට පැවසීමෙන් පසු ඔහු පොතුපිටිය පොලිසිය දැනුම්වත් කර ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය සඳහන් කළේ මෙම මනුෂ්‍ය ඝාතනය (11) වැනිදා රාත්‍රියේ සිදු කරන්නට ඇති බවට සැක කරන බවය. මෙලෙස මරුමුවට පත්වී ඇත්තේ එම ප්‍රදේශයේම කුඩා කටුමැටි නිවසක පදිංචිව සිටි ලියනාරච්චිගේ ශාන්ත නමැති වයස අවුරුදු හතළිස් තුනක කුරුඳු කපන රැකියාවේ නිරත පුද්ගලයකු වන අතර ඔහු සිය බාල සහෝදරයා සමඟ මෙම නිවසේ තනිව ජීවත්ව සිට ඇත. මොවුන් දෙදෙනා නිතරම අධික ලෙස මත්පැන් පානය කරමින් ප්‍රදේශයේ ගම්වැසියන්ට විවිධ කරදර ඇති කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු බවට මූලික විමර්ශනවලදී හෙළිදරව් වූ බව පොලිසිය සඳහන් කළේය.
මෙම ඝාතනය සිදුවූ ස්ථානයට කලවාන වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික තිලකරත්ත මහතා පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර එම ස්ථානයේ තිබී ඝාතනයට යොදාගත් බවට සැක කරන පොල්ලක් සහ සැකකරුවන්ගේ බවට සිතිය හැකි සෙරෙප්පු යුගලක් පොලිසිය සොයාගෙන ඇත. මෙම පරීක්ෂණයට සහය සඳහා රත්නපුර මූලස්ථාන පොලිසියේ සොකෝ නිලධාරීන් සමඟ පොලිස් නිල සුනඛ අංශයේ මාසී නමැති පොලිස් නිල සුනඛයා ද සහභාගී වී සිටියහ. සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ මෙය මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බැවින් එයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මෘත දේහය රත්නපුර ශික්ෂණ මහ රෝහලට යොමුකර එහි අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
අනතුරුව මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය විසින් එම ප්‍රදේශයේ ඇති විශාල තේ වත්තක කම්කරු රැකියාවකට බගවන්තලාවේ සිට පැමිණ සිටි වතු කම්කරුවන් හයදෙනකු අතරින් අඹුසැමි යුවළක් සහ තවත් පිරිමි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ÒමාසිÓ නමැති පොලිස් නිල සුනඛයාගේ සහාය පොලිසියට හිමිවූ බව පොලිසිය සඳහන් කළේය. ඝාතනය සිදුවූ ස්ථානය වැටී තිබූ පොලු කැබැල්ල ඉවකළ මාසි එම මාර්ගයේ ටික දුරක් ගොස් තේ වත්තක ලයින් කාමරයක ඇඳක් මත නිදා සිටි පුද්ගලයකු ළඟ නතර වී ඇත. ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම ඝාතනයට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිවසේ තිබී ඝාතනයට යොදා ගත් බවට සැක කරන තවත් පොලු කැබලි දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙම ඝාතනයට හේතු වී ඇති බවට පොලිසිය සැක පළකරනුයේ එදින තේ වත්තේ දලු කඩා අවසන් කර සවස සිද්ධියට සම්බන්ධ කාන්තාව ඇතුළු තවත් කාන්තාවන් දෙදෙනකු අසල ඇති සිල්ලර වෙළඳසලකින් අවශ්‍ය බඩුබාහිරාදිය මිලදී ගෙන යළි තේ වත්තට එමින් සිටියදී මියගිය පුද්ගලයා අධික ලෙස බීමත්ව ඔහුගේ නිවස අසල සිටිමින් මෙම කාන්තාවන්ට අයුතු යෝජනාවක් කිරීමේ සිද්ධියක් බව පොලිසිය සඳහන් කළේය. මීට පෙරද මියගිය පුද්ගලයා මෙම කාන්තාවන් හට විවිධ බලපෑම් සිදුකර ඇති බවද පොලිසිය පැවසීය. අනතුරුව එදින සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙම කාන්තාවන් විසින් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් හට පවසා ඇති බවත් පසුව ඔවුන් එදින රාත්‍රියේ මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ආරවුලක් ඇති කරගෙන මරණකරුට පහර දී නිවසින් ඉදිරිපිට මාර්ගයට ඇදගෙන විත් හිසට සහ පාදවලට පොලුවලින් පහරදීමෙන් පසු සැකකරුවන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මේ අතර මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය (14) දින රත්නපුර මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මෘත දේහය භාර ගැනීමට ඔහුගේ බාල සොහොයුරා අකමැත්ත ප්‍රකාශ කළ බවත් එයට හේතු වී ඇත්තේ එම සහෝදරයාද නිතරම බීමත්ව සිටීම හේතුවෙන් ඔහුගේ සිහිකල්පනාව අඩුවී ඇති නිසා බවත් පොලිසිය සැක පළ කරයි.
මොහුගේ ඥාතියකු දෙණියාය ප්‍රදේශයේ සිටින බවත් දේහය භාර ගැනීමට පැමිණෙන ලෙස දන්වා යවා ඇති බවත් මෘත දේහය භාර ගැනීමට ඔහුද ප්‍රතික්ෂේප කළහොත් රජයේ වියදමින් අවසන් කටයුතු සිදුකිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, පොලිස් අධිකාරී උපාලි තලගල යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොතුපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර නලවංශ, උ.පො.ප. සරත්, පො.කො. (25787) ගුණරත්න, (23971) අමිල, (70117) ජයලත්, පො.කො.රි. (97480) මදුවන්ත, කා.පො.සැ. (6591) සේපාලි යන පොලිස් නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවා ඇත.
රක්වාන – ඉන්දික සී . කුමාර