හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවෙසකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයකු සොරාගත් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම උතුවන්කන්ද ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ඉකුත් ජූනි 22 වැනිදා රාත්‍රී සචිත්‍ර සේනානායක මහතාගේ නිවෙසට ඇතුළු වී එහි තිබූ ලැප්ටොප් යන්ත්‍රයක්, ටැබ් 02ක්, වටිනා අත් ඔරලෝසු පහක්, අත් පලඳනා හතරක්, කනේ පලඳින මුදු දෙකක්, රුපියල් දස දහසක මුදලක් සොරාගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව තලංගම පොලිසිය විමර්ශනයක් සිදු කරමින් සිටින අතරතුරදී කොට්ටාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතා වෙනත් රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී වෑකඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයක රැඳී සිටි පුද්ගලයකු පැමිණ සිටි යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී එහි කැබියේ තිබී වෙස් මුහුණක්, නියනක්, කටර් අඬුවක් ඇතුළු ආයුධ කට්ටලයක් තිබී හමුවීමත් සමඟ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොහු සොරකමක් සඳහා යමින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමේදී හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාගේ නිවෙස බිඳ දේපොළ සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී රුපියල් 5,030,000ක් වටිනා ඉහත භාණ්ඩ තොගය සොයාගෙන තිබූ අතර සොරාගත් ටැබ් යන්ත්‍රයක් තලංගම ප්‍රදේශයේ ඇළ මාර්ගයකට වීසි කර දමා ඇති බවත් සොරාගත් රුපියල් දස දහසක මුදලින් අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවත් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර කොට්ටාව පොලිස් වසමේ නිවාස පහක් බිඳ දේපොළ කොල්ලකෑම හා මහරගම තලංගම පොලිස් වසම්වල දේපොළ කොල්ලකෑමේ සිද්ධීන් රැසකට බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින්නෙකි.
ඒ සමඟ සොරකම සඳහා භාවිත කළ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාගේ මෙහෙවීමෙන් පො.කො (9968) සේනාරත්න, (92852) නන්දන, (94036) විජේසිංහ, (99136) රත්නායක, (101997) රත්නායක ඇතුළු නිලධාරීහු වැටලීමට එක් වූහ.
කොට්ටාව – ප්‍රදීප් කුමාර,
බණ්ඩාරගම – බිමල් ජයසිංහ