Wednesday, April 23, 2025
Home » දිගාමඩුල්ලේ ආශ්චර්ය – දීඝවාපි මහා සෑය

දිගාමඩුල්ලේ ආශ්චර්ය – දීඝවාපි මහා සෑය

by sachintha
July 15, 2024 1:06 am 0 comment

ප්‍රචණ්ඩත්වය මිනිසා අත්නොහරින එක් ගුණාංගයකි. ‘ලේ සෙල්ලමේ’ ගුණ අගුණ ගැන, සිද්ධියෙන් සිද්ධියට වෙනස් අර්ථකථන සේම, පාර්ශ්වයෙන් පාර්ශ්වයට වෙනස් කතා ඇත්තේය. පෙන්සිල්වේනියා ප්‍රදේශයේ පැවති ජන රැලියකදී එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු කනේ උඩ කොටස තුවාල කරමින්, උණ්ඩයක් ගියේය. තව අඟල් තුන හතරක් වම් පැත්තට වෙන්නට එම වෙඩි ප්‍රහාරය එල්ල වූයේ නම් මේ කතාව සහමුලින් වෙනස් වීමට ඉඩ තිබුණි.

දේශපාලනය, වෙළෙඳාම ඇතුළු සමස්ත මානව ක්‍රියාකාරම් සඳහා උණ්ඩය තවමත් උපයෝගී කර ගන්නේ බැවින් නීතිය සහ සාමය යන මාතෘකාව තරයේ සමාජය තුළ ක්‍රියාත්මක කිරීමේ වගකීමක් රජයකට ඇත්තේය. අතුරුගිරියේ ප්‍රහාරයෙන් පසුව වුවද ඝාතකයෝ, ක්ලබ් වසන්තට සුවදායී අයුරින් සමු ගැනීමට ඉඩ නොදුන්හ. වසන්තගේ මිනිය භාරගත් මල් ශාලාවට දෙවරක්ම තර්ජනාත්මක ඇමතුම් ලැබුණි. වසන්තගේ භූමදානය සිදු කරන දිනයේ ගොඩිගමුව සුසාන භුමියේ මධුෂ්ගේ පින්තුරයක් එල්ලා, තමන් කළ පළිගැනීම සම්බන්ධයෙන් ‘එලොව සිටිනා’ මධුෂ් වෙත පණිවිඩයක් යවන තැනට වසන්තගේ ඝාතකයෝ කටයුතු කර තිබුණි.

මේ ආකාරයේ ලෙයින් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සමාජය ගමන් කිරීම ශ්‍රී ලංකාව විෂයෙහි පමණක් නොව ලෝකයා විෂයෙහිම මාතෘකාවකි. රෝමානු ජෙනරාල් වේගටියස් ප්‍රකාශ කරන ලද්දේ “ඔබට සාමය අවශ්‍ය නම් යුද්ධයට සූදානම් වන්න” කියාය. 1790 වසරේදී කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරය අමතමින්, ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් ප්‍රකාශ කළේ “යුද්ධයට සූදානම් වීම, සාමය ආරක්ෂා කිරීමේ වඩාත්ම ප්‍රතිඵලදායක මාධ්‍යයයි” යනුවෙනි. මේ ආකාරයට සාමය සඳහා යුද වැදීම ලෝක චාරිත්‍රයක් ලෙස දැන් සම්මතව ඇත්තේය. ඒ ආකාරයේ යුද්ධ සියල්ලේ ඓක්‍යය තුළ සාමය යන්න අකුරු තුනේ එළිපත්ත පන්නන්නේම නැත. සාමය සඳහා යුද්ධය යන්න මන්ත්‍රයක් සේ ජප කරනවා විනා, වැරදි මාර්ගයේ ගිය මිනිස් සන්තානය හරි පාරට ගැනීමේ කටයුතු අද සිද්ධ වන්නේම නැති තරම්ය.

ගහ ගැනීම් සහ මරා ගැනීම් සඳහා විසඳුම තව තවත් ගහ මරා ගැනීම ද යන්න මේ තීරුව ප්‍රශ්න කරනුයේ, පේන තෙක් මානයක විසඳුමක් නැති, ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ග ඉදිරියේ ධර්මයේ මඟපෙන්වීම ඉදිරියෙන් තබාය.

අම්පාර දිස්ත්‍රික්කයේ, අක්කරපත්තුව සහ සමන්තුරය අතරේ දීඝවාපිය පිහිටා ඇත්තේය. සමාදානයේ කතාව සඳහා දීඝවාපී මහා සෑය, මහා සංකේතයක් වන්නේය.

මහාවංශයේ සඳහන අනුව ගණනය කළ විට, ක්‍රි.පූ. 137-119 සමයේ, සද්ධාතිස්ස කුමාරයා විසින් දීඝවාපි චෛත්‍යය හා විහාරය ඉදිකර ඇත්තේය. එළාරගේ ආක්‍රමණයෙන් දේශය මුදාගත් සඳ, යළි මිනිස් චිත්ත සන්තානයේ වෛරය ආදී විෂ පැලපදියම් නොවනු වස්, දහම් ප්‍රදිපයේ ආලෝකය දැල්වීම සඳහා දුටුගැමුණු මහා රාජයා ප්‍රමුඛ සමකාලීන පාලනය කටයුතු කළේය. සතුරා පරාජය සඳහා අවශ්‍ය සාධක දෙකකි. වීරත්වය සහ සශ්‍රීකත්වය නොහේ නම්, සතුරා පැත්තක තිබියදී, අප පිල පරිහානියට පත් වන්නේය. ඒ හේතුවෙන් දිගාමඩුල්ල භුමිය සරුසාර කෙත්වතු බවට පරිවර්තනය කරමින්, එදා තිස්ස කුමාර තෙමේ සශ්‍රීකත්වය සඳහා කටයුතු කළේය.

සම්බුදුරාජාණන් වහන්සේගේ නිය ධාතූව නිදන් කර, ඒ මහා ස්තූපය බඳවන ලද්දේ, ලෝකෝත්තර සශ්‍රීකභාවය මේ පොළොවේ පැළ කරනු රිසියෙන්මය.

එකල දීඝවාපිය වූ කලී, මහා ඉදිකිරීමකි. දාගැබ් භූමියෙන් හමුවී ඇති කුඩා ධාතු කරඬුවලට අනුව දීඝවාපී දාගැබ ද මුල් කාලයේ ඡත්‍රාවලිය සහිතව නිමැවුවක් විය. කලාත්මක වාහල්කඩ, පොකුණු ආදී ලකුණු අද නොමැත්තේ වුවද එදා ඒ සියල්ල පූරණය වූ දීඝවාපි මහා සෑය සහ එම පරිශ්‍රය ගරා වැටී, ජරාවාස ව ගියේය. සොළොස්මස්ථානයක් ඒ ආකාරයෙන් ගරා වැටුණු කල්හි, ඔහේ ගොස් එහි නමට සහ අනුහසට මල් පහන් පුදා පැමිණේ නම්, මේ සමාජය තුළ ගහ මරා ගැනීම් තර වන්නේය. මිනිස් සිත නිවා සනසාලනු පිණිස, ශ්‍රද්ධාව උපදවන ආකාරයට යළි එය පිළිසකර වීමේ වැදගත් අදියරක් ඊයේ ජාතිය හමුවේ විවර වූයේය. ඒ මහා සාදු කාර්යය සඳහා පෙරමුණ ගන්නා ලද්දේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ යුගයේදීය. දීඝවාපිය මහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය සඳහා දීඝවාපිය ගරා වැටී ඇති ආකාරය අවධානයට යොමු කරන ලදී.

නැඟෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බළකායක් මේ සඳහා මෙන්ම නැඟෙනහිර උරුම සංරක්ෂණය සඳහා ජනාධිපතිවරයා පත් කළේය. එහි සභාපති වූයේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නය. මහා සංඝරත්නය ද මෙම කර්තව්‍යය සඳහා පෙරට ආහ.

දීඝවාපිය වැනි උරුමයක් නිසොල්මනේ දිරාපත්ව යන විට, ඒ ගැන ආණ්ඩුවේ ඉහළ සිට පහළට බැණ අඬගසමින් සිටීම අප සිරිතය. එවන් ජාතික වස්තුවක් යළි නඟාසිටුවන විට, ඒ සඳහා ඇප උපකාර කිරීමට පැකිළීම ද අපගේ සිරිතය. බෞද්ධයා නාළිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි මහා විහාරයේ විහාරාධිපති බොරලන්දේ වජිරඥාන හිමියෝ මේ සඳහා රටේ මහත් පිරිසක් දායක කර ගැනීමේ සද් කාර්යය සඳහා නායකත්වය දුන්හ. ඒ ආදී මාහැඟි නායකත්ව හේතුවෙන් දීඝවාපි මහා සෑය යළි ජාතිය ඉදිරියේ අභිමානයෙන් නැඟී සිට ඇත්තේය.

පව්කම් බහුල සමාජය යහමඟට ගත හැක්කේ මේ ආකාරයේ කුසල ක්‍රියා වැඩි වැඩියෙන් සිදු කිරීම සහ ඒවා ජාතික කර්තව්‍යයන් බවට පත් කර බහු ජනයා ද ඒ සඳහා දායක කර ගැනීමේ යන්ත්‍රණයක් සැකසීම මඟිනි.

රටේ සියලු දෙනා දැන් සංකේන්ද්‍ර වී ඇත්තේ, සිල් රකින දෙසට නොව බිඳින දෙසටය. සිල් යන්න කුමකටදැයි අසන බොළඳ තත්ත්වය දක්වා සමාජය දැන් පත්ව ඇත්තේය. සියලු පව්කම් ඇඟලා ගෙන සිටින සමාජයක් සිල්වත් කිරීම සඳහා මෙවන් ජාතික කාර්යයන් සමාජයේ මහා ප්‍රචාරණ යන්ත්‍රණයක් දියත් කර සහ සමාජයේ සියලු කොටස් දායක කර ගනිමින් සිදු කිරීම අවශ්‍ය වන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT