ග්‍රාම නිලධාරි සංගම් දුන් සංශෝධන ඇතුළත් නොකර සේවා ව්‍යවස්ථාව ගැසට් කළොත් ඊට එරෙහිව අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරි සංගමයේ ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවැසීය. ලේකම්වරයා මේ බව පැවැසුවේ පසුගියදා (09) මාධ්‍ය හමුවක් කැඳවමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා මෙලෙස ද කීවේය.
“සේවා ව්‍යවස්ථාව සකස් කළ යුත්තේ ග්‍රාම නිලධාරීන්ගේ යෝජනා ඇතුළත්ව මිස අමාත්‍යාංශයට හෝ එහි නිලධාරීන්ගේ අවශ්‍යතා අනුව නොවේ. ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක ද කිසිදු විසඳුමකින් තොරව අවසන් වුණා. ග්‍රාම නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණත් එම විසඳුම් දිය හැක්කේ ලබන අය -වැයෙන් බව අමාත්‍යාංශ නිලධාරීන් පවසනවා. ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු විසඳන්න කියා ජනාධිපතිවරයා අමාත්‍යාංශයට උපදෙස් දුන් බව අමාත්‍යාංශ ලේකම්වරයා පැහැදිලිව කිව්වා. සේවා ව්‍යවස්ථාව අමාත්‍යාංශයට, අමාත්‍යාංශ ලේකම්වරයාට සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඕනෙ විදියටයි සකස් කර තිබෙන්නේ. එම සේවා ව්‍යවස්ථාවට ග්‍රාම සේවා සංගම් කිසිවක් කැමැති නෑ. ඊට එකඟ වෙන්නේ නෑ. එම නිසා ඊට අපි සංශෝධන කිහිපයක් එකතු කර තිබෙනවා. එහෙත් අපි ඉදිරිපත් කළ සංශෝධන වලට තාම අනුමැතිය ලැබුණේ නෑ. ජනාධිපතිවරයා විසින් ගැටලු විසඳන්න කියලා උපදෙස් දුන්නත්, අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ සේවා ව්‍යවස්ථාව ගැසට් කර ඉවර වෙලා තමයි ඒ සංශෝධන ගැන සලකා බලන්න වෙන්නේ කියලා. අපි ඉදිරිපත් කළ යෝජනා ටික සේවා ව්‍යවස්ථාවට ඇතුළත් කර සේවා ව්‍යවස්ථාව දෙනවා නම් දෙන්න. එහෙම නැතිව ගැසට් කරන්න එපා. ගැසට් කළ දවසේ ඉඳලා අඛණ්ඩ වැඩ වර්ජනයකට යන්න වෙනවා. ග්‍රාම නිලධාරීන්ගේ දීමනා දෙන්න කියලත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ග්‍රාම නිලධාරීන්ගේ සොච්චම් දීමනා ටිකත් පසුගිය 01 වැනිදා ඉඳලා දෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”