දාවුදි බෝරා ප්‍රජාවගේ ‘අෂාරා මුබාරකා’ ආධ්‍යාත්මික සමුළුවේ ආගමික දේශනවල විකාශන කටයුතු සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ තෝරාගෙන තිබේ.
ඒ අනුව දාවුදි බෝරා ප්‍රජාවගේ ආධ්‍යාත්මික සමුළුව වන 2024 ‘අෂාරා මුබාරකා’ (Ashara Mubaraka) මෙවර පාකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන අතර, එම සමුළුවට සමගාමීව මෙරටදී පවත්වන ආගමික දේශනවල සජීවී විකාශන කටයුතු ප්‍රචාරණය කිරීමට කොළඹ පිහිටි ප්‍රධාන දාවුදි බෝරා පල්ලිය විකාශන මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇත.
ලොව පුරා වෙසෙන සියලුම දාවුදි බෝරා ප්‍රජාවන් විවිධ තේමා අනුව දින දහයක කාලයක් පුරාවට මේ අෂාරා මුබාරකා සමය සමරන අතර, දාවුදි බෝරා ප්‍රජාවන් සහභාගි වන විශාලතම ආධ්‍යාත්මික සමුළුව පවත්වන්නේ ඔවුන්ගේ ආධ්‍යාත්මික නායකයා වන ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සෙයිෆුද්දීන්ගේ ප්‍රධානත්වයෙන් බව වාර්තා වෙයි. ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් විසින් ඔහුගේ අතීත මුතුන්මිත්තන්ගේ ආගමික සම්ප්‍රදායන් අනුගමනය කරමින් අෂාරා මුබාරකා පැවැත්වීමට සෑම වසරකම එක් නගරයක් තෝරාගනී.
මේ අෂාරා මුබාරකා ආධ්‍යාත්මික සමුළුවේ කොළඹදී පැවැත්වෙන ආගමික දේශනවල කටයුතු භාර කණ්ඩායමේ සාමාජිකයකු වන මුෆද්දල් සයිනුදීන් පැවසුවේ Òඅෂාරා මුබාරකා සමුළුවේ ආගමික දේශනවලට සහභාගි වීම සඳහා ලෝකයේ නන් දෙසින් මෙරටට පැමිණි බෝරා සාමාජිකයන් සියලු දෙනාම අපි හෘදයංගමව මේ අවස්ථාවේදී පිළිගන්නවා. මෙවර මේ ආධ්‍යාත්මික සමුළුව පැවැත්වීමට ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් විසින් කරච්චි නුවර තෝරාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙරටදී පැවත්වෙන ආගමික දේශනවල සජීවී විකාශන කටයුතු මධ්‍යස්ථානයක් ලෙස කොළඹ තෝරාගැනීම අප භාග්‍යයක් කොට සලකනවා.
මේ සමුළුවට 15,000කට අධික දාවුදි බෝරා ප්රජාවකට සත්කාරකත්වය දීමට නොමසුරු සහයෝගය දුන් රජයේ පාර්ශ්වවලට සහ පළාත් පාලන ආයතනවලට අපගේ අවංක කෘතඥතාව පළ කිරීමට කැමතියි. අෂාරා මුබාරකා ආගමික දේශනවලට සහභාගි වීම අපගේ සාමාජිකයන්ගේ ආධ්‍යාත්මික යහපැවැත්මක සහ පුද්ගලික සංවර්ධනය වැඩි කිරීමට උපකාරි වෙනවා. මෙය ගැඹුරින් සිතා බැලීමට, දැනුම ගැනීමට සහ ප්‍රජාවක් ලෙස එකමුතු වීමට සුදුසු කාලයක්.Ó යනුවෙනි.