අතුරුගිරියේ ටැටූ කඩයේ පුද්ගල තෙමේ මේ මොහොතේ එක්තරා අතකට අසරණයෙකි. සිය ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා ඔහු ගත් උත්සාහය නතර වූයේ මිනී දෙකක් ද මරාගෙනය. නැකතට පහන් දල්වා, වැඩේ පටන් ගෙන කිරිබත් කෑල්ලක් අමුත්තෝ කටට දමා ගත් වනම, උණ්ඩයෙන් පච්ච කෙටීමට මිනීමරුවෝ වැඩ සිද්ධ කළහ.
පච්ච වනාහි මේ කාලයේ නොව කොයි කාලයේත් පාදඩ පන්තියේ සංකේතගත වීමකි. එදා මරදානේ චණ්ඩි පපුවේ ගසාගෙන සිටියේ, ‘අම්මා බුදුවේවා – මරුවා සමඟ වාසේ’ වැනි වාක්‍යයය. කට ඇරගත් කොටි අත දිගේ ද ගිනි පිඹින මකරු චන්ඩින්ගේ පිට දිගේ ද සිටියහ. ඔය වනාහි එක්තරා ආකාරයකට විලාසිතාවක් ලෙස ගත හැකි යමක් වුවද පච්චයක් ගසාගෙන සිටින චරිතයේ ස්වභාවය එයින් කියවෙන්නේය. මෑත කාලයේ සිට මේ රටේ පාදඩ පන්තියේ නැඟීමක් ඇත්තේය. ඒ සමඟ පච්ච කොටා ගැනීම වැනි විලාසිතා ජනප්‍රිය වන්නට විය.
ආයතනයක විවෘත කිරීමක් යනු එක්තරා ආකාරයක මංගල මොහොතකි. ටැටූ මෑන් එම උත්සවය සඳහා හැඳ සිටියේ තද රෝස පැහැයට හුරු කොට කලිසමක් සහ කමිසයකි. මොන්ටිසෝරි යන බබ්බු ඔය ජාතියේ ඇඳුම් ඇඳ, වතුර බෝතලය සහ පොත් බෑගය එල්ලාගෙන යන්නේ වුවද ඔය වයසේ වැඩිහිටියෝ එහෙම සකල බුජන් තාලයේ ඇඳුම් ඇඳගෙන ගමන් යන්නේ නැත. ගෙදරට ඔහොම ඇඳගෙන හිටීමේ වරදක් නැත. ඒත් උත්සවයක් සඳහා විශේෂයෙන්ම, තමන්ගේ සාප්පුව විවෘත කිරීමේ උත්සවයට ඔය ආකාරයට සැරසී එනවා කියන්නේ මේ රට සිංගප්පූරු හිඟන්නන්ගේ කලාපයක් බවට පත්ව තිබීමේ ලක්ෂණයකි.
මේ කාලෙය් විලාසිතාව වී ඇත්තේ තැනට ඔබින ලෙස හැඳ පැලඳගෙන යෑම නොවේ. නොගැළපෙන ආකාරයට ඉසව්ව සඳහා සැරසී යාමය. මේ වනාහි සමාජයේ විනය පෙන්වන කැඩපතකි. ඇඳුම සහ පැලඳුම කියන්නේ මිනිසාගේ ගති ස්වභාවය බාහිරට අනාවරණය කරන ආකාරයකි. එයින් පළමුව මූර්තිමත් වන්නේ ඒ ඒ පුද්ගලයාය. මම කවුදැයි යන්න ‘මයි සෙල්ෆ්’ නම් මාතෘකාව යටතේ කතා පවත්වන ලද්දේ තුනේ පන්තිය දක්වා පමණය. වැඩිහිටියන් බවට පත්වූ විට, අප කවුරුන්දැයි යන මිනුම ලබා දෙන්නේ, අපගේ චර්යාව විසිනි. අපගේ හැසිරීම, ක්‍රියා කලාපය දකින දනෝ, එය සංකේතවත් කර ගනිමින් අපව මැන ගන්නෝය.
පාරේ වාහනයක ගමන් කරන විට රතු පැහැති වර්ණ සංඥාව පත්තු වූ විට වාහනය නතර කරන්නේය. මේ ආදී සංඥා පද්ධතියක් අපගේ ගති ස්වභාව සහ බාහිර පෙනුමෙන් සමාජයට සංඥාපනය වන්නේය.
වෙඩි තැබීමේ සිද්ධිය පසෙක තබා, සමස්ත උත්සවයේ සිටි පිරිසකගේ ඇඳුම් පැලඳුම් සහ හැසිරීමේ රටාව බලන කල, එය පාදඩ සංස්කෘතික සිරියාවක හැඩය ගත්තක් බව පෙනී යන්නේය. වෙඩි වැදී ප්‍රතිකාර ලබන පිරිසට ඉක්මන් සුවය පතන අතරේ ඔය සියලු දෙනාගේ චර්යාවේ අඩුව පිළිබඳව මතක් කර දිය යුතුය.
ටැටූ ගැසීම නම්බුකාර මිනිසුන්ගේ ක්‍රියාවක් නොවේ. මෙය සාම්ප්‍රදායික අර්ථකථනයක් අනුව ලියවෙන නිර්වචනයක් නොවේ. අප සමාජීයය සත්ත්ව කොට්ඨාසසකි. එම සමාජයේ හැඩතලය තීරණය වන්නේ අපගේ ගතිගුණ සහ බාහිර ස්වරූපය අනුවය. ටැටූ කඩයේ පිරිසගේ බාහිර ස්වරූපය අනුව ඔවුන් පාතාලයේ පිරිසගේ ලේ නෑයන් සේ දිස්වූයේය. වැදගත්කම යන්න එම පිරිසගේ කිසිවක් තුළින් අපට දිස් වූයේ නැත.
මේ සියල්ල අවසානයේ, සමාජය පාදඩ ස්වරූපයකට ගෙන එන්නේය. වැදගත්කම යන්න මිනිසාට ඇති ප්‍රබලම ආභරණය වන්නේය. ඇඳුමෙන් පමණක් වැදගත්කම එන්නේ නැති වුවද වැදගත්කම සඳහා ඇඳුම ද අතිශයින්ම වැදගත්ය. මේ කිසිවෙක් නැති බැරිකම හේතුවෙන් ඔය ජාතියේ විගඩම් ඇඳුම් අඳින්නේ නැත. ඔවුහු හුරුව සිටින්නේ ඔය ජාතියේ නන්නත්තාර වූ විලාසිතා වෙතය. රස්ටෆාරි පිරිස් සේ කිසිදු ගැළපීමක් නැති විලාසිතා රටාවන්, පච්චා කොටා ගැනීම් ආදිය මේ සමාජයේ ප්‍රචලිතව යනවා කියන්නේ සමාජයේ ඇති බරසාරභාවයට හානි පමුණුවන ලක්ෂණයන්ය.
අප අද මේ ජාතියේ විගඩම් විවේචනය නොකරන්නේ නම්, හෙට අපට ඒවා හමුවන්නේ, සාලය මැද්දේය. නැත්නම් එහා කමරයෙන්ය. සිය දරුවන් ඔය ආකාරයේ පච්ච වඩම් වෙනවාට කිසිදු වැදගත් මවුපියෙක් කැමති නැත. එවන් දේ සඳහා කැමැත්ත ලබා දෙන්නේම ඒ ජාතියේ මවුපියෝය. සමාජයක් ඉදිරියේ අදින පලඳින ආකාරය, ආණ්ඩුවකට නීති දමා පෙන්වා දිය නොහැකිය. ඒවා සමාජයෙන්ම උපදින මතවාද ඔස්සේ පෝෂණය විය යුත්තේය. ඇඳුම සහ හැඩරුව යන්න, රූප රැජන තරගය සඳහා පමණක් අවශ්‍ය දෙයක් නොවේ. මේ සමාජයේ හැසිරීම් රටාව සඳහා ද එය විසල් සේවයක් සලසන්නේය. ටැටූ සාප්පුවේ ඉසව්ව දකින, ඉගෙන කියාගත්, යම් සමාජ සදාචාරයක් සහිත අයෙක් වෙත එය මුදානොගත් කලාපයක, වැසියන්ගේ ඉසව්වක් ලෙස පෙනී යන්නේය. මේ පාදඩ ගති සහිත පිරිස සඳහා එක්තරා කාලයක සමාජයේ තැනක් තිබුණේම නැත. දැන් එම පාදඩ විලාසය සඳහා එක්තරා පිරිසක් අනුගතව ඇත්තාහ. මෙය දිගට පැතිරී ගියහොත්, අප්‍රිකාවේ ගෝත්‍රික පිරිසක් සේ, අප සමාජය බාහිරට පෙනෙන්නට පටන් ගන්නවා ඇත.