බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කරන සෝදිසි මෙහෙයුම් කටයුතු නවතාදමන ලෙස එම බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ නිවෙසට ගොස් තර්ජනය කළේයැයි කියන සිද්ධියක් පිළිබඳ පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා බූස්ස බන්ධනාගාරයේ සේවය කරමින් සිටියදී පසුගිය 11 දින ප.ව. 5.00ට පමණ කටුනායක ඔහුගේ නිවෙසට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණ ඇත. අධිකාරිවරයාගේ පියා ඒ අවස්ථාවේ එම නිවෙසේ රැඳී සිට ඇති අතර, පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනා ඩුබායි රටේ සිටින හීනටියන සංඛ නමැත්තාගෙන් යැයි පවසා දුරකතන ඇමතුමක් ඔහුට සම්බන්ධ කර දී තිබේ. ඒ ඇමැතුමෙන් අධිකාරිවරයාගේ පියාට තර්ජනය කර ඇත්තේ දැනට බූස්ස බන්ධනාගාරයේ සිදු කරන සෝදිසි කටයුතු නවතා දමන ලෙසයි.
පසුගිය දිනවල බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ තිබී දුරකතන කිහිපයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලි සාමාජිකයකුද අධිකාරිවරයාගෙන් විමසීම් කර තිබිණි. මේ සිද්ධිය පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.