Home » පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කරයි

පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කරයි

by chanaka
July 12, 2024 8:40 pm 0 comment

මෙරට ඉතිහාසය පිළිබඳව ඇති දැනුම වියැකෙමින් යන මොහොතක, පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දිනය නිමිති කොටගෙන ‘ පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

පුරාවිද්‍යා දිනයට සමගාමීව පැවැත්වෙන පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (12) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

මෙම පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංවිධාන කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.

ඒ අනුව මෙම ‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන තුළින් සෑම පළාතකම සහ දිස්ත්‍රික්කයකම පුරාවිද්‍යා කාර්යාල හරහා පාසල් සිසු දරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ පුරාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන කණ්ඩායම් සඳහා පුරාවිද්‍යාව, උරුම කළමනාකරණය, පුරාවස්තු ආරක්ෂා කර ගැනීම, එහි නෛතික පදනම පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සහ වැඩසටහන් සිදුකරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා එහිදී සඳහන් කළේය.

එසේම සංකල්පීය වශයෙන් ආරම්භ කිරීමට නියමිත වෙස්සගිරිය ලෝක උරුම උද්‍යානය හරහා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව අනුරාධපුර, සීගිරිය, පඬුවස් නුවර, අම්පාර, මාතර, දඹදෙණිය, යාපහුව, මහනුවර, පොළොන්නරුව, අම්බලන්තොට, මොනරාගල සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක තුළ පුරාවිද්‍යා දෙසතිය වැඩසටහනට අදාලව ව්‍යාපෘති ගණනාවක් සිදු කිරීමට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා එහිදී සඳහන් කළේය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ මහත්මිය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT