Wednesday, April 23, 2025
Home » කොවිඩ් සමයේ තැපෑලෙන් එවූ බෙහෙත්වලින් දෑස් නොපෙනී ගිය පුතාට ලෝකය දකින්න පිහිට වෙන්න -පියාගෙන් ආයාචනයක්
මීරිගමින් ඇසුණු ආන්දෝලනාත්මක කතාව මතක ද?:

කොවිඩ් සමයේ තැපෑලෙන් එවූ බෙහෙත්වලින් දෑස් නොපෙනී ගිය පුතාට ලෝකය දකින්න පිහිට වෙන්න -පියාගෙන් ආයාචනයක්

-ඉන්දියාවේදී කරන සැත්කමට ලක්ෂ 23ක් ඕනෑ

by sachintha
July 12, 2024 1:00 am 0 comment

කොරෝනා වසංගතය සමයේ මීරිගම රෝහලෙන් තැපැල් මඟින් එවූ බෙහෙත් පාවිච්චියට ගැනීමෙන් පසු දෑස් නොපෙනී ගිය තම පුත්‍රයාගේ දෑස් පෙනීම ලබාගැනීමට සිව් වසරක් තිස්සේ ගත් උත්සාහය දැඩි ආන්දෝලනයට ලක් වූ බෙහෙත් විශේෂයක් පාවිච්චි කිරීම නිසා යළි අවදානමට ලක්ව ඇතැයි ද මේ තත්ත්වය නිසා රුපියල් ලක්ෂ 23ක වියදමින් ඉන්දියාවේදී සැත්කමක් කිරීමට සිදු වී ඇතැයි පියා අනිල් කපිල කුමාර මහතා පැවැසීය.

මේ කනගාටුදායක ඉරණමට මුහුණ පා ඇත්තේ මීරිගම හිරුවල වැවහේනවත්ත පළමු පටුමඟ පදිංචි කේ.ඒ.ලෙනින් නිරෝෂන් කුමාර (19) නම් පාසල් සිසුවෙකි.

2020 වසරේදී පාසල් යමින් සිටි මේ සිසුවා අපස්මාර රෝගී තත්ත්වයකට පත්ව මීරිගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇත.කොරෝනා පැතිරීමත් සමඟ තැපැල් මගින් ඔහුට රෝහලෙන් එවා ඇත්තේ කිසියම් අනුරූප බෙහෙත් වර්ගයකි. එම බෙහෙත් ලබා ගැනීමෙන් පසු ඔහුගේ ඇස් පෙනීම දුර්වලවීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගෙන ඇත. එවකට සෞඛ්‍ය ඇමැතිවරයා වූ චන්න ජයසුමන මහතා ද නිවෙසට පැමිණ සිසුවා පරික්ෂා කර බලා සිදුව ඇති වරදට පිළියම් යොදන බවට පොරොන්දු වී තිබුණි.

මෙසේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2022 වසර වනවිට ඔහු හොඳ සුවයකට පත්ව එදිනෙදා කටයුතුවල යෙදෙමින් තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවී ඇත.ඒ අනුව 2023 මාර්තු මස 13 වැනි දින සිට පුරා දින 43ක් ඔහුට විශේෂ ඖෂධයක් ලබාදී ඇත. එසේ ලබාදී ඇත්තේ මේ වනවිට මහත් ආන්දෝලනයකට පත්ව තිබෙන බෙහෙතකි. එම ප්‍රතිකාරය කෙරෙමින් පැවතියදී ඔහුගේ ඇස් පෙනීම යළි නැති වී ගොස් ඇත. මේ වනවිට වම් ඇසට යන්තම් ඡායාවක් පමණක් පෙනෙන බව සිසුවා කියයි. මේ තත්ත්වය නිසා ඔහුගේ පාසල් ගමන ද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

එදා සිට මේ දක්වා ඔහු අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. සිසුවාගේ පියා වන අනිල් කුමාර මහතා පවසන්නේ පුතාගේ ඇස් පෙනීම ලබා ගැනීමට නම් ඉන්දියාවේදී සැත්කමක් කළ යුතු බවට අක්ෂි වෛද්‍ය කුසුම් රත්නායක මහත්මිය නිර්දේශ කර ඇති බවයි. ඒ සඳහා රෝහල් ගාස්තු පමණක් රුපියල් ලක්ෂ 23ක් වන බව දන්වා ඇතැයි ද වසර හතරක් තිස්සේ සිය ජීවන රටාව කඩා වැටී සිටින තමන්ට මේ මුදලත් වෙනත් වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ 20-25 තරම් දැරීමට හැකියාවක් නැති බව ඔහු පවසයි.

මේ වියදම් පියවාගෙන තම පුතුගේ දෑස් පෙනීම ලබා ගැනීමට සහාය දක්වන ලෙස අනිල් මහතා ඉල්ලීමක් කරයි.කේ.ඒ. අනිල් මහතා අංක 37, පළමු පටුමඟ, වැවහේනවත්ත, හිරුවල මීරිගම ලිපිනයේ පදිංචිව සිටින අතර වැඩි විස්තර දුරකතන අංක 075- 6519653න් විමසිය හැකිය.

කොටදෙණියාව සමූහ – එම්.පුෂ්පකුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT