කැන්ඩි ෆැල්කන්ස් පිලට එරෙහිව පැවති එල්පීඑල් තරගාවලියේ 14 වැනි තරගය කඩුලු 8කින් ජය ගැනීමට ගෝල් මාර්වල්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.
ඊයේ රාත්‍රියේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි පිල ලකුණු 187කට සීමා කළ ගෝල් ක්‍රීඩකයෝ පන්දු 4ක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.
කෙසේ වෙතත් මේ තරගයෙන් ප්‍රසාද ලකුණු සටහනේ ස්ථානවලට බලපෑමක් සිදු නොවූ අතර, ගෝල් පිල දෙවැනි ස්ථානයේත්, කැන්ඩි පිල අවසන් ස්ථානයේත් පසු වෙයි.
පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ඇලෙක්ස් හේල්ස් ඉනිම නිමා වන තෙක් කඩුල්ලේ රැදෙමින් නොදැවී ලකුණු 86ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟ පන්දු 55කිනි. පළමු කඩුල්ලට නායක නිරෝෂන් දික්වැල්ල සමඟ එක්ව ලකුණු 76ක් එක් කළ හේල්ස් තෙවැනි කඩුල්ලට භානුක රාජපක්ෂ සමඟින් ගොඩනැඟූ නොබිඳුණු සබඳතාව ලකුණු 81කි. ඊට වැය වූයේ පන්දු 47ක් පමණි. භානුක පන්දු 26කින් ලකුණු 46ක් රැස් කළේ
පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි පිල වෙනුවෙන් ඇන්ඩ්‍රි ෆ්ලෙචර් පන්දු 43කින් ලකුණු 69ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. දිනේෂ් චන්දිමාල් සමඟ පළමු කඩුල්ලට ලකුණු 54ක් එක් කළ ෆ්ලෙචර් සිව්වැනි කඩුල්ලට ඇන්ජෙලේ මැතිව්ස් සමඟින් පන්දු 33කින් ලකුණු 60ක් එක් කළේය. චන්දිමාල් පන්දු 14කින් වේගවත් ලකුණු 32ක් සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 15කින් ලකුණු 29 රැස් කළේය. මුළු ලකුණු 144දී මැතිව්ස් දැවී ගිය අතර, ඒ සමඟ තවත් ලකුණු 4ක් තුළ ප්‍රබල කඩුලු 3ක් (ෆ්ලෙචර්, වනිඳු හසරංග සහ දසුන් ශානක) දැවී යෑම කැන්ඩි පිලට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි කළේය. රමේෂ් මෙන්ඩිස් පන්දු 14කින් ලකුණු 28ක් ඉනිමට එක් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් සහ ඩ්වේන් ප්‍රිටෝරියස් කඩුලු 2ක් දවා ගත්හ. ජයසූරිය තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
මේ තරගාවලියට අද (11) සහ හෙට (12) විවේක දිනයක් වන අතර, තරගාවලියේ ඉතිරි තරග අනිද්දා (13) සිට ඇරඹෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.
කැන්ඩි ෆැල්කන්ස් – 187/9 (ඕවර 20) ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 69, දිනේෂ් චන්දිමාල් 32, ඇන්ජලෝ මැතිව්ස් 29, රමේෂ් මෙන්ඩිස් 28 (ප්‍රභාත් ජයසූරිය 30/3, ඩ්වේන් ප්‍රිටෝරියස් 37/2)
ගෝල් මාර්වල්ස් – 188/2 (ඕවර 19.2) ඇලෙක්ස් හේල්ස් නොදැවී 86, භානුක රාජපක්ෂ නොදැවී 46, නිරෝෂන් දික්වැල්ල 25