අම්බලන්ගොඩ නගර සභාවට අයත් පටබැඳිමුල්ල ප්රදේශයේ පිහිටි ආදාහනාගාරයේ පෙරේදා (9) මියගිය කාන්තාවන් දෙදෙනකුගේ සිරුරු ආදාහනය කිරීමට නොහැකි වීම නිසා මෙම මියගිය අයගේ ඥාතීන් බලවත් අපහසුතාවට පත් වී තිබේ.
මියගිය අයගේ ඥාතීන් ආදාහනාගාරය භාරව සිටි සේවකයන්ගෙන් ආදාහනය කිරීම ප්රමාද කිරීමට හේතුව විමසූ විට ඔවුන් පවසා ඇත්තේ විදුලි බලය නොමැති නිසා ආදාහන කටයුතු කිරීම කළ නොහැකි බවයි. මියගිය අය ගලගොඩ සහ කහව ප්රදේශයේ පදිංචි අය වන අතර ඔවුන්ගේ පදිංචිය අම්බලන්ගොඩ නගර සභා සීමාවෙන් බාහිර ප්රදේශවල නිසා වැඩිපුර මුදලක් ආදාහනය සඳහා ගෙවීමට සිදු වී ඇත. මෙසේ ආදාහන කටයුතු නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකි වූයේ නඩත්තු කටයුතු සඳහා අම්බලන්ගොඩ නගරයේ විදුලි බලය එදින පුරාම විසන්ධි කොට තිබූ බැවිනි. මේ පිළිබඳව ලංකා විදුලි පෞද්ගලික සමාගමෙන් විමසීමේදී ඔවුන් පැවසුවේ පෙරේදා (9) විදුලිය නඩත්තු කටයුතු පිළිබඳව පුවත්පත් සහ කෙටි පණිවිඩ මඟින් දැනුම්වත් කර තිබූ බවයි. නමුත් නගර සභාවේ නිලධාරීන් එය නොදැන ආදාහන කටයුතු කිරීමට නියමිත වෙලාවට පැමිණෙන ලෙස මියගිය අයගේ ඥාතීන් හට දන්වා තිබේ.
ආදාහන කටයුතු විදුලි බලය ලැබීමෙන් අනතුරුව රාත්රියේදී සිදු කරන ලදි.