කඩිමුඩියේ වර්ජන රැල්ලක් ඇතිව තිබේ. සේවක ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජන සිදු කිරීම දැන්නම් යල් පැන ගොස් ඇති ආකෘතියකි. ආර්ථිකය සුන්නත් දූලි වූ රටක සැබෑ තත්ත්වය අප අත්දකින ලද්දේ වසර දෙකකට පෙරය. කොවිඩ් වසංගතය, යුක්රේන් – රුසියා යුද්ධය ආදිය, එක පෙළට ආ විට, ශ්‍රී ලංකා ආර්ථිකයේ බැලන්ස් වීලය සපුරාම අවුල් විය. ණය බර හොඳටම වැඩි වී ගියේය. දේශපාලන අසහනයක් ඇති කරමින් අවස්ථාව බලා, විරෝධතා රැල්ලක් ද පැමිණියේය. මී කුණ දුටු විට කපුටු රෑන වෙත එය සාරවත් කෑම වේලකි.
මෙම අසහනය දකින කල්හි එවන් දේශපාලන කාක්කෝ සිය ආහාරය පිණිස පිටියට බැස්සාහ. එතැන් සිට ආර්ථිකය පණ ගසා ඒම වෙනුවට ජනාධිපතිවරු මාරු වෙන තරමේ දේශපාලන ආරෝවක් මතුව ආවේය.
මී කුණ සඳහා ඇදුණු කපුටු රෑන් වෙත මාකට් එක හැදෙන්නේ, කෙටි කාලයකට පමණය. 87 – 89 භීෂණ සමය උදාහරණයකට ගතහොත්, මේ රටේ නිල නොවන ආණ්ඩු බලය හොබවන ලද්දේ ජවිපෙය. ජයවර්ධන ජනාධිපතිගේ පාලන කාලයේ අග භාගය තුළ රටේ පාලනයක් තිබුණේම නැති තරම්ය. ඒ ආකාරයට කැරළිකාරීත්වය හිස ඔසවා තිබුණේය. එසේ වූ පමණින් රටේ බලය ලබා ගැනීමට තබා පණ බේරාගෙන ජීවත් වීමට හෝ ජවිපෙට අවකාශයක් ලැබුණේ නැත. උඩ පනින තරමට ගෙඩි කඩා ගැනීමට නොහැකි මාවතක දේශපාලන සෙල්ලම කිරීමට පෙර ඉගෙන ගත යුතු දෑ බොහෝය.
ළඟ නවා වැඩ වර්ජන කළ කල්හි, ආණ්ඩුව අමාරුවේ වැටෙන බව සිතීම වූ කලී, ආදී කල්පිත දේශපාලන චින්තනයකි. උදාහරණය සඳහා පනස් තුනේ හර්තාලය නම් මාතෘකාව ගනිමු.
ඒ සඳහා පදනම ඇති වූයේ සහනාධාර කප්පාදුව නම් ක්‍රියාමාර්ගය හේතුවෙනි.
1953 ජූලි 7 වෙනිදා අගමැති ඩඩ්ලි, රාජාසන කතාව පවත්වා, ඇතිව තිබෙන ආර්ථික අර්බුදය පැහැදිලි කළේය. පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ජනතා සහන කප්පාදු කිරීමට සිදුවන බව හේ නොපැකිළව ප්‍රකාශ කළේය. නව ආණ්ඩුවේ අය වැය සඳහා පදනම වූයේ මෙම ආර්ථික අර්බුදය සමථයකට පත් කිරීමය. අර්බුදයක් යනු සාමාන්‍ය තත්ත්වයක් නොවන හෙයින්, ආණ්ඩුවක් එවැනි විටක යම්තාක් රිදුම් දෙන තීරණ ගන්නේය. 1951 රුපියල් මිලියන 345ක් වූ වෙළෙඳ අතිරික්තය 1953 රුපියල් මිලියන 200ක හිඟයක් බවට පත්ව තිබුණි.
1952 ජනවාරි වනවිට ශ්‍රී ලංකාව සතු විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1209ක් දක්වා ඉහළ ගොස් තිබුණි. කොරියානු යුද සමයේ තිබුණු වාසිය නිමා වීමත් සමඟ, මසකට රුපියල් මිලියන 30 බැගින් එම ශේෂය සිඳී ගියේය. 1953 ජූලි මාසයේ අය-වැය ඉදිරිපත් කරන විට එය රුපියල් මිලියන 676 දක්වා පහත වැටී තිබිණි.
ඔය ආකාරයේ ආර්ථික සෝදා පාළුවක් හමුවේ රටේ සුබසාධනය කප්පාදු කරනවා හැර වෙන විසඳුම් නැත්තේය. අනික් අතට එහෙම කැප කිරීමක් සිදු කර වසර දෙකක් පමණ අල්ලාගෙන සිටියේ නම් ආර්ථිකය සඳහා නව නැම්මක් ඇති කර ගත හැකිය. මේ සඳහා මුදල් ඇමැති ජයවර්ධන ගත් පියවර වූයේ, සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා වැඩි කිරීමය. අනෙකුත් සහනාධාර කප්පාදුව හේතුවෙන් මුද්දර ගාස්තු, ප්‍රවාහන ගාස්තු ආදිය ඉහළ ගියේය.
මේ සමඟ වමේ ව්‍යාපාරය සිය දේශපාලන න්‍යාය පත්‍රය අතට ගෙන, ජනතාව කුලප්පු කිරීම සඳහා යත්න දැරුවේය. පාර්ලිමේන්තුවේ සංවාදයක් ඇති කරමින් සිදු කළ යුතු දේ පාරට ගෙන ඒම සඳහා බලය නැති එකා කැමැත්තේය. හෙතෙම නිතරම යන්නේ වල් වාසි කරාය. ඡන්දය නම් මාර්ගයේ තමන් වෙත ජයක් නොමැති බව පසක් වූ විට, ආණ්ඩුවට වැඩේ කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇති කිරීම, මේ ජාතියේ දේශපාලන ව්‍යාපාරයන්ට අනන්‍ය වූ ව්‍යායාමයකි.
සෑම උද්ඝෝෂණයකම මුල ප්‍රෝඩාවය. සාකච්ඡාවකට පැමිණියහොත් තමන්ගේ බොරුව හෙළි වන හෙයින්, උද්ඝෝෂකයෝ මුලින්ම කරන්නේ පාරට බැසීමය. පනස්තුනේ හර්තාලය ආරම්භ වන්නේ, රන්දොඹේ ඔලගම හන්දියේ තිබූ සමුපකාරයේ අලවා තිබූ දන්වීමකිනි. එම දැන්වීම අලවා තිබුණේ පළාතේ සමසමාජ ක්‍රියාකාරීන් විසිනි. හාල් සේරුවක මිල ශත 70 දක්වා වැඩිකර ඇති බව සඳහන් එම දැන්වීම සමුපකාරය විසින් අලවන ලද්දක් සේ සිතන ලද, ගමේ කාන්තාවෝ, සමුපකාරය වට කළහ. ඒ වන විටත් රටේ අනෙක් ස්ථාන හිද වැඩේ පත්තු කිරීමට නියමිතව තිබූ හෙයින් රටම උද්ඝෝෂණ පුරයක් බවට පත්විය.
මීට වසර හැත්තෑ එකකට පෙර දියත්වූ හර්තාලය මේ තීරුවට මතක් වූයේ, වත්මන් වැඩ වර්ජන හේතුවෙන් පමණක් නොවේ. ඔය ආකාරයට ළඟ නවා පොලිටික්ස් කිරීමට යෑමේ ආදීනව සිහිපත් කිරීමය.
පළමු කොටම එදා අහෝසි වීමට නියමිතව තිබුණේ අසීමිත සුබසාධනවාදී, ආර්ථික කරුමය ය. ඒ සඳහා තබන ලද පළමු පියවරම, සද්භාවයෙන් පියවර ගත් අය වෙත පත්තු වූ හෙයින්, එදායින් මෙදා සුබසාධනවාදයට එරෙහිව කිසිදු දේශපාලකයෙක් කට ඇරියේ නැත. එහි අවසන් නවාතැන් පොළ වුයේ, රට බංකොලොත් වනතුරු සහනාධාර ලබාදීමය.
මේ ආකාරයට විරෝධතා දියත් කරමින් දේශපාලනය කළ සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ සිතන්නට ඇත්තේ, එජාපය මාට්ටු කර ළඟ ළඟම බලයට පැමිණීම මිස අන් කවර කාරණයක් ද…?
අද එම පක්ෂ දෙක ජීවමාන කෞතුගාරයක් බවට පත්වූ කිහිප දෙනෙක් සහ ඉතිහාසය සඳහා කරුණු සෙවීමේ මූලාශ්‍ර දෙකක් බවට පත්ව යූනියන් පෙදෙසේ සහ කොටා පාරේ ශේෂව ඇත්තේය.