Home » පොල් වගාවේ සුදුමැස්සා පාලනයට කඩිනම් වැඩසටහනක්

පොල් වගාවේ සුදුමැස්සා පාලනයට කඩිනම් වැඩසටහනක්

by chanaka
July 11, 2024 4:48 pm 0 comment

මේ වනවිට පොල් හා තැඹිළි වගාව තුළ ව්‍යාප්තවෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නැමැති කෘමි උවදුර පාලනය සඳහා මාසයක කාලයක් තුළ කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරින්ට අද(11) උපදෙස් දුන්නේය.

අද (11) පස්වරුවේ පාර්ලිමේන්තු කමිටු අංක 02 ශාලාවේ දී පැවැති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සුදුමැස්සාගේ හානිය ඉතාමත් බරපතල බවත්, මේ වනවිට එම කෘමි හානිය දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා වන බවත් උපදේශක කාරක සභාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

සුදුමැස්සාගෙන් හා අනෙකුත් කෘමින්ගෙන් පොල් වගාවට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය එක්ව ඒකාබද්ධ වැඩ සටහනක් මාසයක් තුළ අරඹන්නැයි ද , ඒ සඳහා වැය වන මුදල් පොල් සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

කෙසේ වුවද පොල් වගාවේ රතු කුරුමිණි උවදුර ජෛව පාලන ක්‍රම මගින් පාලනය කළ නොහැකි බව පොල් පර්යේෂණ ආයතනය පෙන්වා දුන්නේය.

සුදුමැස්සාගේ හානිය වළක්වා ගැනීමට විලෝපිත කෘමියෙක් යෙදීම මගින් ද සාර්ථකම ප්‍රතිඵල අත්පත් කර කර ගත නොහැකි බව ද පොල් පර්යේෂණ ආයතනය පෙන්වා දුන්නේය. එයට හේතුව නම් දැනට හඳුනාගෙන ඇති විලෝපිතයා මගින් පාලනය කළ හැක්කේ එක් සුදුමැස්සන් විශේෂයක් පමණි. නමුත් අපේ රටේ පොල් වගාව තුළ සුදුමැස්සන් විශේෂ 05ක් සිටින බව හඳුනාගෙන ඇති බවත් පොල් පර්යේෂණායතනය පෙන්වා දුන්නේය.

මේ නිසා සුදුමැස්සා හානිය වළක්වා ගැනීමට කළ යුතු එකම ප්‍රතිකාරය වන්නේ කොහොඹ තෙල් හා සබන් මගින් සකස් කර ගන්නා නිශ්සාරණය පොල්ගස්වලට ඉසීම බවත්, මෙම කටයුතු ඒකාබද්ධ වැඩ සටහනක් මගින් සිදු කළ යුතු බවත් මෙහිදී අවධාරණය විය.

කෙසේ වුවද මාසයක කාලයක් තුළ මෙම ඒකාබද්ධ වැඩ සටහන අරඹන්නැයි අමාත්‍යවරයා පොල් වගාව සම්බන්ධව කටයුතු කරන ආයතන තුනටම උපදෙස් දුන්නේය.

මෙම උපදේශක කාරක සභාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, කාදර් මස්තාන් සහ අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT