තම නිවෙස මීට වසර දෙකකට පෙර ගිනි තබා විනාශ කළ අවස්ථාවේ ගෙදරක වටිනාකම තමාට තදින් දැනුණු බවත්, ඒ වටිනාකම හඳුනාගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත් වන ලක්ෂ දෙක හමාරක ජනතාවට ඒ නිවාසවල පූර්ණ අයිතිය හිමි කර දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත් වන අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය පිරිනැමීමේ ‘රන්දොර උරුමය’ වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්රදානය කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරේදා (9) පැවති අවස්ථාවේදීය. කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරිත්වය ප්රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය හිමි කර දීමේ ‘උරුමය’ වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මාසිකව රු. 3,000ක හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අනාගතයේ අයිතිය ලැබෙන සේ අඩු ආදායම්ලාභීන්ට දී ඇති මහල් නිවාස ඇතුළු සියලු නිවාස සඳහා රු. 150,000ක මුදලක් ගෙවා ඇති සහ මෙතෙක් ඒ මුදල ගෙවා නැති නමුත් එය මසක කාලයක් තුළ ගෙවා අවසන් කරන ප්‍රතිලාභී පවුල් 50,000ක් වෙනුවෙන් පළමු අදියර යටතේ පූර්ණ නිවාස හිමිකම ප්රදානය කිරීම සිදු කෙරේ. මේ වසර අවසන් වන විට ප්‍රතිලාභීන් 1,070කට හිමිකම් ඔප්පු ප්රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:
“අද අප එක්ව සිටින්නේ කොළඹ මහල් නිවාසවල ජීවත් වන ජනතාවට ඒ නිවෙසේ පූර්ණ අයිතිය හිමි වන අවස්ථාවටයි. ඒ වගේම ‘උරුමය’ වැඩසටහන නගරයට ගෙන එන අවස්ථාව ලෙසද මෙය හැඳින්විය හැකියි. අප ‘උරුමය’ වැඩසටහන ආරම්භ කළේ මේ රටේ ජනතාව පීඩාවට ලක්ව සිටි කාලයකයි. රජයට හැකි පමණින් අප ඒ සියලු දෙනාට උදවු උපකාර කළා. එහිදී අප ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ ජනතාවට අයිතිය පිරිනැමීම වෙනුවෙනුයි. ඉඩමක අයිතිය හෝ නිවෙසක අයිතිය ඕනෑම කෙනකුට ඉතා වැදගත්. මෙය ජනතාවගේ බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව ඉටු කිරීම වෙනුවෙන් අප මේ වැඩසටහන ක්‍රියාත්මක කළා.
“මේ සියල්ල සිදු කිරීමට පෙර රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගැනීමට සිදු වුණා. ඒ වගේම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිදු වුණා. මීට වසර දෙකකට පෙර රටේ අනාගතය පිළිබඳ සියලුදෙනා බිය වී සිටියා. එහෙත් අද අප රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර තිබෙනවා. ඒ ආර්ථික ස්ථාවරත්වයෙහි වාසිය ජනතාවට දීමට අප කටයුතු කරනවා. එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අණ්ඩුවක් ලෙස අප සියලු දෙනා එක් වුණා.
“මීට වසර දෙකකට පෙර මගේ නිවෙස ගිනිබත් වූ අවස්ථාවේ ගෙදරක වටිනාකම මට දැනුණා. ඒ පිරිස කිසිවකුට එම ස්ථානයට ඒමට පවා ඉඩ දුන්නේ නෑ. ගිනි නිවීමට ගුවන් හමුදාව පැමිණියා නම් වෙඩි තැබීමට සිදු වනවා. වෙඩි තිබා මිනිසුන් මැරීමට මා කැමැති වුණේ නැහැ. එනිසා එහි තිබූ මගේ පොත්පත් ඇතුළු සියල්ල විනාශ වී ගියා. ඒ අවස්ථාවේ නිවෙසක වටිනාකම මට වඩාත් තදින් දැනුණ නිසා ජනතාවට නිවාස අයිතිය දීම වෙනුවෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ නිසා ‘උරුමය’ වැඩසටහන ගමට සීමා නොකර නගරයට ගෙන ඒමට අපට හැකි වුණා. ගමේ ලක්ෂ 20ක ජනතාවට ‘උරුමය’ වැඩසටහන යටතේ ඉඩම් අයිතිය හිමි වනවා. ලක්ෂ දෙක හමාරකට කොළඹ නගරයේ නිවෙසක උරුමය හිමි වනවා. ඔබ මේ නිවෙස ආරක්ෂා කරගත යුතුයි; ඒ වගේම එය ලස්සනට පිරිසුදුව තබාගත යුතුයි. ඒ තුළ ඔබේ අනාගතය ගොඩනඟාගත යුතුයි

ජනපති මහල් නිවාස ඒකකයක පූර්ණ හිමිකම් ඔප්පුවක්
ප්රදානය කරමින්…
“ජනතාවට හැකි තරම් සහන සලසා දීමට අප ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරමින් සිටිනවා. මේ රටේ ජනතාව අත්විඳි දුක අප සියලු දෙනා දන්නවා. එදා මම මේ රට භාර ගත් අවස්ථාවේ රට තුළ වෙනසක් සිදු කළ යුතුයි කියා මම සිතුවා. එම වෙනස කරන්නේ සටන් පාඨ කියමින් හෝ මහ පාරේ කෑගසා නොවෙයි. ඒ වෙනස සිදු කරන්නේ පෙත්සම් අත්සන් කර නොවෙයි. අරමුණක් තිබෙනවා නම් එම අරමුණ ඔස්සේ වැඩ කළ යුතුයි.
අපේ රට අද තිබෙන තත්ත්වයට ගෙන ඒමට හැකි වනු ඇතැයි කිසිවකු සිතුවේ නැහැ. අපට මේ වැඩ සිදු කිරීමට හැකි වූයේ කැප වී කටයුතු කළ නිසයි. ඒ නිසා මම මේ සියලු මැති ඇමැතිවරුන්ට ස්තුති කළ යුතුයි. අප සියලු දෙනා එක්ව මේ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. ආපසු පැරණි තත්ත්වයට යෑමට කිසිවකු කැමැති වෙයි කියා මා සිතන්නේ නැහැ. ඔබට වඩා ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපට තව දිගු ගමනක් යෑමට තිබෙනවා. ඒ වෙනුවෙන් අපට කළ හැකි හොඳම කටයුත්ත ජනතාවට අයිතිය හිමි කර දීමෙන් අද අප සිදු කර තිබෙන බව මා විශ්වාස කරනවා.”
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා:
“2024 අයවැය ඉදිරිපත් කරමින් ලක්ෂ විස්සක ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු පිරිනැමීමට ජනාධිපතිතුමා යෝජනා කළ අවස්ථාවේ විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ඒ යෝජනාව අවඥාවට ලක් කළා. එහෙත් ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ සිනා සී, ‘උරුමය’ සින්නක්කර ඔප්පු පිරිනැමීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස අපට උපදෙස් දුන්නා. පාසලට දරුවකු ඇතුළත් කරගැනීමට, ශල්‍යකර්මයක් සඳහා මුදල් සම්පාදනය කරගැනීමට, බැංකු ණයක් ගැනීමට මේ නිවාසවල සින්නක්කර ඔප්පු හිමි වීමෙන් ඔබට හැකි වනවා. මීට වසර දෙකකට පෙර අද වැනි දිනක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකම නිවෙස අරගලකරුවන් විසින් ගිනිබත් කළා. ඒ අරගලකරුවන් විනාශ කළේ නිවෙසක් නොවේ ඉතිහාසයක්. ඒ නිවෙසේ වටිනා පුස්තකාලයක්, වටිනා පිළිම, වටිනා චිත්‍ර වැනි බොහෝ දේ තිබුණා. එතුමාගේ නිවෙස අහිමි වී වසර දෙකක් ගත වන මේ මොහොතේ ඔබේ නිවාස අයිතිය තහවුරු කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. සැබෑ නායකයකු හඳුනාගත හැකි වන්නේ අර්බුද අවස්ථාවකදීයි. රනිල් වික්‍රමසිංහ මහතා අර්බුදය හමුවේ රටේ වගකීම භාර ගෙන රට ස්ථාවර කිරීමට කටයුතු කළා වගේම පීඩාවට පත් ජනතාවට ‘අස්වැසුම’ සහ ‘උරුමය’ වැනි වැඩසටහන් මඟින් සහන සලසා දීමට කටයුතු කර තිබෙනවා.”
රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහත්වරුන්ද මෙහිදී අදහස් පළ කළ අතර, රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහත්වරුන් ඇතුළු නිලධාරීහු හා නිවාස හිමිකම්ලාභීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නිවාස හිමිකම්ලාභීන් ඇතුළු පැමිණ සිටි පිරිසෙන් කොටසක්
ඡායාරූප – හිරන්ත ගුණතිලක