Wednesday, April 23, 2025
Home » ඡන්දේ දිනීමට බැරි හින්දා වර්ජන මාලය ගොතපල්ලා

ඡන්දේ දිනීමට බැරි හින්දා වර්ජන මාලය ගොතපල්ලා

by sachintha
July 10, 2024 1:00 am 0 comment

පංකාදු පහට කළ හැකි එකම දෙය වන්නේ, විරෝධතා දේශපාලනයයි. අවුලක් ඇත්තේම නැත. විවේචනය පමණක් කරන්නේ බැවින්, අහන එකා සිතන්නේද මේකා තරම් සමතෙක් ලොවේ තව නැති බවය. ඒ හේතුවෙන් ජනප්‍රියභාවය ද ඉහළ යන්නේය. විරෝධතා දේශපාලනය යනු ක්‍රියාකාරී දේශපාලනයේ ඇති දුර්වලම තේරීමය. ඒ ආකාරයට විවේචනය පමණක් දේශපාලනය ලෙස ගන්නේ බලපෑම් කණ්ඩායම්ය. ක්‍රියාකාරී දේශපාලන අංශ විවේචනය අබිබවා ගෙන යන්නේ විකල්පය ය.

මේ රටේ රාජ්‍ය සේවය වනාහි, වහා ගිනි ඇවිළිය හැකි දෙයකි. එහි ඕනෑම ස්ථානයක නිදන්ගත ප්‍රශ්නයක් තිබේ. එය විසඳීම සඳහා යන්නේ නම්, තව රාජ්‍ය ආයතන ගණනාවක්, පාරට බැස්සීමට හැකිය. අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රශ්නය සඳහා විසඳුමක් දුන් සැණින්, විශ්වවිද්‍යාල ආචාර්යවරු පාරට එන්නාහ. ඒ සඳහා සුබවාදී ප්‍රතිචාරයක් දැක්වූ විට, යළි අනධ්‍යයන සේවකයෝ නොසන්සුන්ය. මේ එකම පද්ධතියේ, එකිනෙකා අතර ඇති අසමබරතාය.

සමාන්තර ශ්‍රේණි ප්‍රශ්නය ගත් කල ඔයිට වඩා තත්ත්වය දරුණුය. දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කළහොත් ඊට සමාන්තර ශ්‍රේණි ගණනාවක වැටුප් වැඩි කිරීමට සිදු වන්නේය. ඒ ආකාරයට බැලූ විට විරෝධතා දේශපාලනය සඳහා තෝතැන්නක් වන්නේ වැටුප් සහ දීමනා ප්‍රශ්නය වේ.

එකක් අල්ලාගත් විට රටේම ගිනි ඇවිළිය හැකි හෙයින් විරෝධතා දේශපාලන සඳහා වර්ජනය කදිම ආහාරයකි. ගුරු වැටුප් ප්‍රශ්නය දශක තුනකට අධික කාලයක් පැමිණ ඇති අර්බුදයකි. එය අර්බුදයක් වන්නේ නිකම්ම නොවේ. මේ සඳහා එක් එක් කමිටු ලබාදී ඇත්තේ වෙනස් ආකාරයේ විසඳුම්ය. අවසානයේ සුබෝධිනී වාර්තාව අතට ගෙන එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගුරුවරු මහපාරට ආහ. 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය යනු පඩි වැඩි කිරීම කළ හැකි ආර්ථිකයක් තිබූ රටක් නොවේ. පඩි නැඟීම සහ බැසීම හැර, කොවිඩ් වසංගතය හේතුවෙන් අන් කිසිවක් එම පාලන කාලයේ කළ නොහැකි තරමට රටේ ආර්ථිකය ‘නන්නා’ වී ගොස් තිබිණි. එහෙම තිබියදී පවා එකම වැටුප් වර්ධනය ලබාදුන්නේ ගුරුවරුන් වෙතය. ඊට අමතරව මේ වසරේදී රාජ්‍ය සේවයේ සියලුදෙනා වෙනුවෙන් රුපියල් දස දහසක දීමනාවක් ආණ්ඩුව ලබාදුන්නේය. දෙවරක් වැටුප වැඩි වූ ගුරුවරු යළිත් වර්ජනය සඳහා පාරට බැස ඇත්තේය. මේ සියලු ගුරු වර්ජන සිංහල මාධ්‍යයේ පාසල්වල පමණය. සිය දරු පරපුරේ දෑස් පාදනු වස්, දෙමළ මාධ්‍ය පාසල්හි ගුරුවරු වැටුප් ආදී කතා නැතිව, පාසල් එන්නාහ. නුවරඑළිය වැනි සිංහල සහ දෙමළ මාධ්‍ය දෙකෙන්ම පාසල් ඇති දිස්ත්‍රික්කයක් උදාහරණයකට ගත හොත් සිංහල මාධ්‍යයෙන් උගන්වන පාසලේ ගුරුවරු වර්ජනය කරන්නාහ. දෙමළ මාධ්‍යයේ පාසල්හි ගුරුවරු සේවයට එන්නාහ.

ඔය ආකාරයට වර්ජන ක්‍රියාදාමය විසින් එක් අතකින් දේශයේ සවිබලය අඩපණ කරන්නාහ. දේශපාලන අනාථයන් පිරිසකට කළ හැක්කේ වර්ජන පමණය.

මේ රටේ විරෝධතා දේශපාලන ‘මැල්ලුම’ සඳහා අවශ්‍ය කළමනා පහත පරිදිය. යුනියන් එකක් දෙකක් පිහිටුවා ගැනීම පළමුව කළ යුතුය. ඒවා ගුරු, සෞඛ්‍ය, දුම්රිය සහ බස් යන මර්මස්ථානගතව පිහිටුවා ගැනීම වැදගත්ය. විශාල පිරිසක් හෝ එම සේවයේ ඉහළ නිලතල මේ සඳහා වැදගත් නැත. පියන් මට්ටමේ දෙන්නෙක් සිටියද කම් නැත. හිතාගන්න බැරි ජාතියේ ඉල්ලීම් දෙක තුනක් ඉල්ලා, අර කාර්යාල කාර්ය සහයක ඩබල පත්‍රිකාවක් බෙදූ කල්හි වැඩේ පත්තු කර ගත හැකිය. මේ රටේ ඉන්නේ එතරම් මෝඩ ප්‍රජාවක් හෙයින් රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් එකවර ඉල්ලූ විට ඒ සඳහා වුවද වර්ජනයට එන්නාහ. එහෙම එන පිරිස සඳහා විසඳුමක් යෝජනා කළ විට දෙපැත්තකින් පත්තු කර ගැනීම සඳහා තව වැඩක් ඇත්තේය.

ඉල්ලීම සඳහා පෙළගැසෙන ආයතනයේම ඉහළ ස්තරයේ පිරිසක් අර කාණ්ඩය සඳහා වැටුප වැඩි කළ විට වර්ජනය කළ යුත්තේය. ඔය ආකාරයට ‘විධායක නොවන පිරිසට’ වැඩි කළ විට විධායකයන් ද විධායකයන් වෙත වැඩි කළ විට අතරමැදි පිරිස ලෙස තට්ටු මාරුවට, වර්ජන කළ හැක්කේය.

මේ අතරේ සමාන්තර ශ්‍රේණි කුලප්පු කර, වෙනත් ක්ෂේත්‍රයක පිරිසක් ද වැඩි වැටුප් ඉල්ලා, ශ්‍රේණි ප්‍රශ්නය අතට ගෙන පාරට ගෙන ආ හැකිය.

ඔය වට්ටෝරුව ක්‍රියාත්මක වූවා කියන්නේ රටම අල ගොඩක්ය. කිසිම පාලකයෙක් වෙත ඒ ආකාරයට රට පාලනය කළ නොහැකි හෙයින්, විරෝධතා දේශපාලනය අතට ගත් කල්ලියට, දවසේ ‘රන් එක’ දිය හැක්කේය.

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ඉල්ලා සිටීමට පාරට බහිනා කාණ්ඩය, ඊළඟට එළියට බහින්නේ ‘බදු බරට එරෙහි සටනට’ය. මේ ආකාරයට රුපියල් දස දහසක වැටුප් වර්ධකයක් ලබා දුනහොත්, වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ වැය බර ඒ සඳහා දරන්නට වන්නේය. මේ මුදල, රුපියල් විසි දහසක් වුවහොත්, තවත් රුපියල් බිලියන 280ක් ඒ සඳහා අවශ්‍යය. රුපියල් දස දහසකින් වැටුප් වැඩි කිරීමට නම් සියයට 2කින් පමණ වැට් බදු වැඩි කිරීමක් සිදු කළ යුත්තේය. ඒ කියන්නේ වැට් බද්ද 21% දක්වා වැඩි කිරීමට සිදු වන බවය. එසේ කළ සැණින් යළි පාරට බැසිය හැක්කේය.

ආණ්ඩු බලයක් ද කිසිදා නොලැබෙන බැවින්, ජවිපෙ වැනි කල්ලියකට මේ ක්‍රියාදාමය සුදුසුය. ඡන්දයක් ළඟ එන විට පපුවේ දැවිල්ල අල්ලන්නේ හෙයින් වර්ජන රැල්ල ඇති කිරීම ජවිපෙ ‘චිරාගත චාරිත්‍රයකි’.

මේ ජල්ලි අල්ල අල්ලා රටකට ගමනක් නැත්තේ හෙයින් මේ මිථ්‍යාවට එරෙහිව ජනතාව පිළිතුරක් ලබාදිය යුතු බව මේ තීරුවේ අදහසය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT