Wednesday, April 23, 2025
Home » දකුණේ පාසල් දරුවන්ගේ දැනුම නංවන්න ඉන්දියාවෙන් සුහුරු පන්ති කාමර 200ක්

දකුණේ පාසල් දරුවන්ගේ දැනුම නංවන්න ඉන්දියාවෙන් සුහුරු පන්ති කාමර 200ක්

by sachintha
July 10, 2024 1:00 am 0 comment

දකුණු පළාත් පාසල් දරුවන්ගේ දැනුම ඉහළ නැංවීම අරමුණු කරගෙන සුහුරු පන්ති කාමර 200ක් ඉදිකිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ පැවැති උත්සවයක දී දකුණු පළාතේ පාසල් රැසක් සඳහා ඩිජිටල් උපකරණ ලබාදුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මේ ඩිජිටල් උපකරණ ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ දකුණු පළාතේ සුහුරු පන්ති කාමර 200ක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යාපෘතියක් යටතේ භාරදී තිබෙන අතර දකුණු පළාතේ පාසල් 200ක් සඳහා ඩිජිටල් උපකරණ සපයමින් එම පාසල්, ලොව පුරා ඩිජිටල් සම්පත් සහ තොරතුරුවලින් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා බලගැන්වීම මේ ව්‍යාපෘතියේ අරමුණ වේ.

මේ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ලබාදෙන විවිධාකාර සහයෝගය සම්බන්ධයෙන් ඉන්දීය රජයට සහ අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට සිය ස්තූතිය පළ කළේය.

මේ අතර ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සඳහන් කළේ ඉන්දියාව මෑත වසරවලදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා ඉහළ තාක්ෂණික දියුණුවක් ලබා ඇති බවයි. එසේම,එම දියුණුවේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරුවරුන්ට ලබාදීමට ඉන්දීය රජය කැපවී සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය. ඉන්දීය රජය දකුණු පළාතේ ජනතා කේන්ද්‍රීය ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇති බව සඳහන් කළ මහකොමසාරිස්වරයා පළාතේ දිස්ත්‍රික්ක තුනේ නිවාස නැති ජනතාව සඳහා නිවාස 1300 ක් ද ඉදිකෙරෙමින් පවතින බව ප්‍රකාශ කළේය.

දකුණු පළාතේ සුහුරු පන්ති කාමර ස්ථාපනය කිරීම ද්විපාර්ශ්වික ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති රාමුව යටතේ සිදු කෙරේ. මේ ව්‍යාපෘති රාමුව යටතේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රධාන ව්‍යාපෘති 18ක් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18 ආවරණය කරමින් ක්‍රියාවට නංවා ඇත.මේ ව්‍යාපෘතිවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 5.5ක් පමණ වේ.

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT