නුවරඑළිය සීතාඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභිෂේක මංගල්‍යය සහ දර්ශනීය පෙරහර පූජෝත්සවය මහත් අභිමානවත් අයුරින් ඉකුත් සෙනසුරාදා සහ ඉරිදා දෙදින උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි.
සීතාදේවි කෝවිලේ මංගලාභිෂේකය ආරම්භ වූයේ ඉකුත් සෙනසුරාදා උදෑසන නවයට නුවරඑළිය නගර මධ්‍යයෙනි.
නුවරඑළිය, සීතාඅම්මාන් කෝවිලේ කුම්භාභිෂේක මංගල්‍යය ඉකුත් මැයි මස 19 වැනි දින ඇරඹි අතර ඉන් පසුව දින 48ක් පුරා පැවති පූජාවන්හි අවසාන මහා පූජාව සෙනසුරාදා පැවතුණි. ඊට සමගාමීව ඉන්දියාවේ අයෝධ්‍යා නුවර රාම දෙවොලේ සිට මෙරටට ගෙන ආ සුවිශේෂ ශෛල ස්ථම්භය සහ නේපාලයේ ජනක්පුර් සිට රැගෙන ආ ශිලා ඵලකය කෝවිලේ තැන්පත් කිරීම මෙහි දී සිදු කෙරිණ.
එම පූජා භාණ්ඩ සහ රාමා – සීතා, ලක්ෂ්මණ සහ හනුමන් ප්‍රතිමා රැගත් පෙරහැර නුවරඑළිය නගරයේ වීදි සංචාරය කළේය. වසර අටකට වරක් පැවැත්වෙන කුම්භාභිෂේක මහෝත්සවය පසුගිය මැයි මස 19 වැනිදා ඉන්දියාව,නේපාලය ඇතුළු රටවල් රැසක හින්දු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ පැවැති බව එම කෝවිලේ පාලක මණ්ඩලයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.
මෙම අවස්ථාවට ඉන්දීය බැතිමත්හුද විශාල පිරිසක් එක් වූහ.
ලොව පුරා හින්දු බැතිමතුන්ගේ නිබඳ ගෞරවාදරයට පාත්‍රවන මෙම මංගලෝත්සවය සඳහා නුවරඑළිය සහ අවට ප්‍රදේශවල විශාල පිරිසක් සහභාගිවි සිටියහ.
ජයසිරි මුණසිංහ