පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති අටක, බැංකු සංගම්, පුලතිසි කිරි නිෂ්පාදන සමිතිය හා සණස සමිතිවල සේවක සේවිකාවන් එක්ව 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් සමුපකාරකයින්ගේ දක්ෂතාවන් සහ සේවා ඇගයීමේ උත්සවයක් වසර නවයකට පසුව පසුගිය 06 වැනිදා දවස පුරා පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පොලොන්නරුව දිස්ත්‍රික් සමුපකාර මණ්ඩලයේ සභාපති එච්.එම්. උපුල් අලහකෝන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් පැවැති මෙම සමුපකාරිකයින්ගේ ක්‍රීඩා දක්ෂතාවන් හා සේවා ඇගයීමේ උත්සවය සඳහා දිඹුලාගල, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, පලුගස්දමන, විජිත, පොලොන්නරුව, ඇළහැර, කවුඩුල්ල යන විවිධ සේවා සමුපකාර සමිතිවල සභාපතිවරුන්, සාමාන්‍යාධිකාරිවරුන්, අධ්‍යක්ෂවරුන්, කළමනාකරුවරුන් මෙන්ම සේවකයින් සහ පුලතිසි කිරි නිෂ්පාදන සමිතිය, බැංකු සංගම්, සණස සමිතිවල සේවක සේවිකාවෝ 600කට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.
මෙහිදී වසර ගණනාවක් සමුපකාර සේවයේ නිරතව සිටිමින් විශාල කැපකිරීමක් සිදුකළ සේවක සේවිකාවන් ඇගයීමකට ද ලක් කරමින් ඔවුනට වටිනා ත්‍යාග සහ සහතික ලබාදීමට දිස්ත්‍රික් සමුපකාර මණ්ඩලය අමතක නොකළේය.
මීට අමතරව වොලිබෝල්, එල්ලේ, දුර දිවීම, කඹ ඇදීම, සමුපකාර කුමරා සහ කුමරිය තේරීම ඇතුළු තරග ඉසව් රැසක් පැවැති මෙම උත්සවයේ සමස්ත ශූරතාවය පලුගස්දමන විවිධ සේවා සමුපකාර සමිතිය හිමිකරගත් අතර අනුශූරතාව මැදිරිගිරිය විවිධ සේවා සමුපකාර සමිතිය හිමිකර ගැනීමට සමත් විය.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන විවිධ සේවා සමුපකාර සමිති අටක සේවක, සේවිකාවන් සහ කිරි නිෂ්පාදන සමිතියේ සේවකයින් එක්ව කදුරුවෙල නගරයේ සිට විශේෂ රථ පෙරහරකින් ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණය දක්වා පැමිණ මෙම අපූරු උත්සවය සංවිධානය කර තිබූ අතර පොලොන්නරුව සමුපකාර මණ්ඩලයේ සහකාර කොමසාරිස් පී.ඊ.එම්.ආර්.පී. පලිපාන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ දිස්ත්‍රික් සමුපකාර මණ්ඩලයේ මෙන්ම සමුපකාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය සිදුකෙරිණි.
102 වැනි ජාත්‍යන්තර සමුපකාර දින උත්සවය වෙනුවෙන් වසර නවයකින් පසු පොලොන්නරු දිස්ත්‍රික්කයේ සමුපකාරිකයින් එක්ව පැවැත්වූ පළමු උත්සවය මෙය බවත් මෙමගින් සමුපකාරකයින්ගේ දක්ෂතාවන් හැකියාවන් හඳුනා ගන්නවා පමණක් නොව සමුපකාර සේවකයින්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල් අතර පවතින සුහදත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම, දක්ෂතාවන්, හැකියාවන් රටට, ජාතියට හෙළිවීම, සේවක තෘප්තිය හා සතුට ඇතිවීම සිදුවන බව ඒ පිළිබඳ අදහස් දක්වමින් දිස්ත්‍රික් සමුපකාර මණ්ඩලයේ සභාපති උපුල් අලහාකෝන් මහතා සඳහන් කළේය.
රජයේ මුදල් ප්‍රතිපාදන නොමැතිව සමුපකාර සේවකයින්ගේ මුදලින් සහ කැපකිරීමෙන්, ශ්‍රමයෙන්, එකමුතුවෙන් මෙම උත්සවය වර්ණවත් වී තිබීම ද විශේෂත්වයකි.
මෙම අවස්ථාවට සමුපකාර මහබැංකු සංගමයේ හා දඹදෙණිය සමුපකාර සමිතියේ සභාපති චන්දන ප්‍රසාද්, හිඟුරක්ගොඩ හා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර, පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා, අනුරාධපුරය, මැදවච්චිය, මරදන්කඩවල ඇතුළු සමුපකාර සමිතිවල සභාපතිවරුන්, සාමාන්‍යාධිකාරිවරුන්, අධ්‍යක්ෂමණ්ඩල හා සේවක, සේවිකාවෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
සිරිපුර මදුශානි අබේසිංහ